වැඩි වැටුප් ඉල්ලා ටෙලිකොම් සේවකයන් විරෝධතාවක

ශ්‍රී ලංකා ටෙලිකොම් (එස්එල්ටී) සේවකයෝ සිය ගනනක් කොලඹ පිහිටි සමාගමේ කාර්යාල ඉදිරිපිට ඔක්තෝබර් 12දා විරෝධතාවයක නිරත වූහ. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ යෝජිත වැටුප් ව්‍යුහයේ පවතින වැටුප් විෂමතා ඉවත් කර, 2025 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුකූල ව වැටුප් සකස් කිරීමයි.

‍ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් 2023 දෙසැම්බරයේ ප්‍රසාද දීමනා ඉල්ලා වාඩි වී විරෝධතාවක නිරත වේ-ඡායාරුප WSWS

වැටුප්වල සැබෑ අගය පහත වැටීම, රැකියා අනාරක්ෂිතභාවය, කොන්ත්‍රාත් කම්කරුවන් යොදා ගැනීම සහ ශ්‍රී ලංකා ටෙලිකොම්හි ඇතැම් කාර්යයන් අඛන්ඩ ව බාහිර පාර්ශ්ව වෙත පවරා දීම සම්බන්ධයෙන් ටෙලිකොම් සේවකයන් අතර වර්ධනය වෙමින් පවතින සැබෑ කෝපය මෙම විරෝධතාවෙන් ප්‍රකාශ විය.  කලින් රජයේ දෙපාර්තමේන්තුවක් වූ ටෙලිකොම් ආයතනය, දශක තුනක් පුරා ක්‍රමානුකූල ව රාජ්‍ය සතු සමාගමක් බවට පරිවර්තනය කරන ලදි. කෙසේ වෙතත්, කොටස්වලින් සියයට 45කට පමන හිමිකම් කියන මැලේසියානු සමාගමක් වන ග්ලෝබල් ටෙලිකොමිනිකේෂන් හෝල්ඩිංග්ස්, එහි ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවට පත් ව ඇත.

12 විරෝධතාව කැඳවනු ලැබුවේ, සියලු විදුලි සංදේශ සේවකයින්ගේ සංගමය (සිවිසංසේසං), පොදුජන ප්‍රගතිශීලී ටෙලිකොම් සේවක සංගමය (පොප්‍රටෙසේසං),  සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේසං)  යන වෘත්තීය සමිතිවලින් සමන්විත ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුන (ටෙවෘසපෙ)   විසිනි.

වෘත්තීය සමිති නායකයන් මෙම විරෝධතාව කැඳවූයේ සේවකයන්ගේ කෝපය විසුරුවා හැරීමට සහ වැටුප් සංශෝධනයක් සඳහා ආන්ඩුවට බලපෑම් කිරීමට ය.

2029 ජනවාරි 1 වන දා දක්වා අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිත කලමනාකාරිත්වයේ යෝජිත වැටුප් පරිමානයන්ට අනුව, A5 ශ්‍රේනියේ ඉංජිනේරුවෙකුගේ/කලමනාකරුවෙකුගේ මාසික වැටුප ශ්‍රී ලංකා රුපියල් 160,000ක් වනු ඇත. A9 ශ්‍රේනියේ තාක්ෂනික/තොරතුරු තාක්ෂන සහ ජාල/අලෙවි සේවකයන්ට රුපියල් 67,000ක්ද, A10 ශ්‍රේනියේ පාරිභෝගික සේවා සහ සමාන්තර සේවා සේවකයන්ට සහ A12 ශ්‍රේනියේ අලෙවි නිලධාරීන්ට රුපියල් 51,000ක් ද, A15 ශ්‍රේනියේ තාක්ෂනික සහ පාරිභෝගික සේවා සේවකයන්ට රුපියල් 45,000ක් ද හිමි වනු ඇත. අනෙකුත් පහල ශ්‍රේනිවල සේවකයන්ට ඊටත් වඩා අඩු වැටුප් ලැබෙනු ඇත.

වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ,  2025 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ චක්‍රලේඛය යටතේ රජයේ වැටුප් පරිමානයන්ට අනුකූල වන පරිදි වැටුප් සකස් කරන ලෙසයි. එම පදනම මත ඔවුන් ගනනය කර ඇත්තේ A5 සේවකයන්ට රුපියල් 186,000ක් ද, A9 සේවකයන්ට රුපියල් 124,620ක් ද, A12 සේවකයන්ට රුපියල් 102,300ක් ද, A15 සේවකයන්ට රුපියල් 96,720ක් ද ලැබිය යුතු බවයි.

 සමාගමේ සේවකයන් රාජ්‍ය සේවකයන් නොවන බැවින් රාජ්‍ය අංශයේ වැටුප් පරිමානයන් සඳහා ඔවුන් සුදුසුකම් නොලබන බව, එස්එල්ටී-මොබිටෙල් කලමනාකාරීත්වය කියා සිටියි. එවැනි ව්‍යාජ තර්ක මගින් හෙලි වන්නේ සේවකයන්ගේ වැටුප් පහල මට්ටමක තබා ගැනීමට කලමනාකාරිත්වය දරන සැලසුම්‍ ය. පසුගිය වසර කිහිපය තුල සැබෑ වැටුප්වල සිදු වූ දැවැන්ත ඛාදනයට වන්දි නොගෙවන අතර ම, සමාගම සැලකිය යුතු ලාභ උපයමින් සිටී.

සැප්තැම්බර් මුල දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න පැවසුවේ,  එස්එල්ටී-බොබිටෙල් සමාගම 2023 දී බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 3.9ක පාඩුවක් වාර්තා කල නමුත්,  පසු ව නැවත ලාභදායී තත්ත්වයට පත් ව, 2025 දී බදු ගෙවූ පසු රුපියල් බිලියන 1ක ලාභයක් වාර්තා කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ: “මෙය හුදු තාවකාලික දෙයක් පමනක් නොවේ. මෙම ප්‍රකෘතිමත් වීම අඛන්ඩ ව පවත්වා ගෙන යනු ලබනවා.”  ෆිනෑන්ෂියල් ටයිම්ස් වාර්තාවට අනුව, නිවැරදි උපායමාර්ගය, නායකත්වය සහ සංවිධාන සංස්කෘතිය හරහා රාජ්‍ය ව්‍යවසායක් පරිවර්තනය කල හැකි ආකාරය පිලිබඳ ප්‍රදර්ශනාත්මක උදාහරනයක් ලෙස වීරරත්න සමාගමේ කාර්යසාධනය ඉදිරිපත් කලේ ය. මෙම උපායමාර්ගය සහ සංවිධාන සංස්කෘතිය තුල ඉහල වැට් බදු හරහා පාරිභෝගිකයන්ගෙන් වැඩි මුදලක් අයකර ගැනීම, සේවක වැටුප් පහල මට්ටමක තබා ගැනීම සහ වැඩ බර තීව්‍ර කිරීම ඇතුලත් වේ.

සමාගම සම්පූර්නයෙන් ම පෞද්ගලීකරනය කිරීමට මීට පෙර සැලසුම් කර තිබුන ද, ආන්ඩුව මේ වන විට එය “රාජ්‍ය උපායමාර්ගික වත්කමක්” ලෙස රඳවා ගෙන සිටී.

යෝජිත අඩු වැටුප් කලමනාකාරීත්වයේ උපායමාර්ගයේ කොටසක් වන අතර, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුලුල් කප්පාදු වැඩසටහන සහ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල සමග පෙලට සිටී. මෙම වැඩසටහන යටතේ රාජ්‍ය සතු ව්‍යවසායන් (රාසව්‍ය) මහා භාන්ඩාගාරයට බරක් නොවිය යුතු අතර, වානිජ පදනමක් මත ක්‍රියාත්මක විය යුතු හෝ පෞද්ගලීකරනය කල යුතු ය. ටෙලිකොම් සමාගම අඩු වැටුප් මත කොන්ත්‍රාත් කම්කරුවන් බඳවා ගනිමින් සිටී. SLT-Mobitel එස්එල්ටී-මොබිටෙල් 2025 වාර්ෂික වාර්තාවට අනුව, සමාගමට කොන්ත්‍රාත් සේවකයෝ 106 දෙනෙක් සිටිති.

IMF වැඩසටහනට බැඳී ඇති ආන්ඩුවේ සහ ටෙලිකොම් කලමනාකාරීත්වයේ සැලසුම්, වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය විසින් සේවකයන්ගෙන් වසන් කර ඇත. එය පුලුල් සේවක ස්ථර සඳහා අඩු වැටුප් ස්ථිර හා ආයතනගත තත්ත්වයක් බවට පත් කර තිබෙන අතර, වැටුප් සංශෝධන වසර කිහිපයක් පුරා විහිදුවා හරිමින් ලබා දෙන ඕනෑම නාමික වැටුප් වැඩිවීමක් උද්ධමනය මගින් ඛාදනය වීමට ඉඩ සලසා ඇත.

සමාජ අර්බුදය ඉතා පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ නිල ජාතික දරිද්‍රතා රේඛාව 2026 දී පුද්ගලයෙකු සඳහා මසකට රුපියල් 17,719 දක්වා ඉහල ගොස් ඇති අතර, මාර්තු මාසයේ දී එය රුපියල් 16,690ක් විය. එක් පුද්ගලයෙකුගේ මූලික ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය නිල අවම මුදල මෙයයි.

2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කල සුලු වැටුප් වැඩිවීමේ තෙවැනි වාරිකය හැරුනු විට රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා තවත් වැටුප් වැඩිවීමක් සිදු නොවන බව, මෙම වසර මුල දී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ ය. උද්ධමනය ඉහල යමින් තිබූ අවස්ථාවක ඔහු මෙම ප්‍රකාශය සිදු කල අතර, සැප්තැම්බර් මාසයේ දී උද්ධමන අනුපාතය සියයට 8.1 දක්වා ලඟා විය. රාජ්‍ය වියදම් දැඩි ලෙස කපා හැරීමට ආන්ඩුව දැඩි පියවර ගන්නා බව ද දිසානායක පෙන්වා දුන්නේ ය. එවැනි එක් පියවරක් ලෙස ඔහු සඳහන් කලේ රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමයි.

ජවිපෙ/ජාජබ බලයට පැමිනියේ කම්කරුවන්ට සහ දුප්පතුන්ට ව්‍යාජ පොරොන්දු ලබා දෙමින්, ඒ අතර ම මහා ව්‍යාපාරිකයන්ගේ සහ IMF හි අවශ්‍යතාවන්ට සේවය කිරීමට ප්‍රතිඥා දෙමිනි. මත්ද්‍රව්‍ය සහ දූෂනයට එරෙහි තම යුද්ධය පිලිබඳ ප්‍රචාරනය මධ්‍යයේ සිය ම්ලේච්ඡ ප්‍රහාර තීව්‍ර කරමින් සිටින මෙම ආන්ඩුවේ සැබෑ ස්වභාවය පසුගිය වසර දෙක තුල හෙලිදරව් වී ඇත.

ගෝලීය ධනේශ්වර අර්බුදය තීව්‍ර වෙමින් පවතින අතර අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධ ගෙන යමින් සිටින තත්ත්වයක් තුල, අනෙකුත් රටවල ධනපති පන්ති පාලකයන් මෙන් ම ශ්‍රී ලංකා ආන්ඩුව සහ ධනපති පන්තිය ද එහි බර මහජනතාව මත පටවමින් සිටිති. මෙම ප්‍රහාරවලට එරෙහි කම්කරුවන්ගේ විරෝධය වර්ධනය වෙමින් පවතින බව හොඳින් දන්නා දිසානායක ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ, සිය මර්දන බලතල පුලුල් කිරීම යි. මේ වන විට එය දැඩි නව ත්‍රස්ත විරෝධී නීතියක් සම්මත කර ගැනීමට තල්ලුව දෙමින් සිටී. පසුගිය වසර දෙක පුරා ම, වැඩවර්ජන මර්දනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව පියවර ගන්නා ආකාරය ද ජනතාව අත් දැක්කේ ය.

මෙම තත්ත්වය තුල කම්කරු පන්තිය තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතු බවත්, ඒ අනුව තම අරගල සූදානම් කල යුතු බවත් අවබෝධ කරගත යුතු ය.

ටෙලිකොම් සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සහ වඩා යහපත් සේවා කොන්දේසි සඳහා වන අරගලය රඳා පවතින්නේ IMF කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීම සඳහා වන පුලුල් අරගලයක් මත ය. එවැනි අරගලයක් ගෙන යා හැකිවන්නේ, ටෙලිකොම් සේවකයන් රාජ්‍ය අංශයේ සේවකයන් සහ සමස්ත කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධ කිරීමෙනි.

එවැනි අරගලයකට විරුද්ධ වන ටෙවෘසපෙ නායකයෝ , ඒ වෙනුවට සේවකයන්ගේ කෝපය විසිරුවා හැරීම අරමුනු කරගත් වාගාලංකාර සහ විරෝධතා ක්‍රියාමාර්ගවලට යොමු වෙති. ඔක්තෝබර් 12 විරෝධතාව අතරතුර බෙදාහැරුනු පත්‍රිකාවක මෙසේ සඳහන් විය: “ටෙලිකොම් සේවක කැලඹීමක් ඇති නොකරනු!” වෙනත් වචනවලින් කිවහොත්, සේවකයන් සන්සුන් කර තැබීම සඳහා ආන්ඩුව කිසියම් ඇස්බැන්දුමක් කලයුතු බවට වෘත්තීය සමිති ආන්ඩුවට සංඥා කරමින් සිටී.

ටෙලිකොම් සේවකයන්ට එල්ල වී ඇති ප්‍රහාරය,  අහඹු සිදුවීමක් හෝ වැටුප් ගනනය කිරීමේ තාක්ෂනික දෝෂයක් නොවේ. එය අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා ගෙන ගිය පෞද්ගලීකරනය, ප්‍රතිව්‍යුහගත කිරීම සහ කප්පාදු වැඩපිලිවෙලවලින් ගලා එන්නකි. 1990 දශකයේ මුල් භාගයේ දී එස්එල්ටී ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරුනේ,  වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ සක්‍රීය සහයෝගය ඇති ව ය. 2000 සහ 2006 අතර කාලයේ දී එස්එල්ටී සේවක සංඛ්‍යාව 8,600 සිට 6,600 දෙනෙක් දක්වා කපා හරින ලදහ. දැන් එහි සේවක සංඛ්‍යාව 5,200ක් පමනි.

2023 දී ටෙලිකොම් සේවකයෝ සමාගම පෞද්ගලීකරනය කිරීමට ගත් පියවරවලට එරෙහි ව ප්‍රධාන විරෝධතාවක් දියත් කලහ. 2023 නොවැම්බර් මාසයේ දී විරෝධතාවයේ නිරත සේවකයන් අමතමින් සිවිසංසේසං සභාපති ජගත් ගුරුසිංහ ප්‍රකාශ කලේ වෘත්තීය සමිති “ලාභ ලබන ටෙලිකොම් සමාගම විකිනීම නතර කිරීම සඳහා පලමු පියවර ආරම්භ කර ඇති” බවත්, වික්‍රමසිංහ රාජ්‍ය ව්‍යවසායන් විකිනීම සඳහා ඉදිරිපත් කල නිර්නායක ඉවත් කර ගන්නා තෙක් අරගලය අවසන් නොවන බවත්‍ ය. සියලු ම රාජ්‍ය ව්‍යවසාය සේවකයන් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට කැඳවන බවට ද ඔහු තර්ජනය කලේ ය.

කෙසේ වෙතත්, ආන්ඩුවේ සැලැස්මට එරෙහි ව වෘත්තීය සමිති කලේ, ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සමක් ගොනු කිරීමයි. අධිකරනය මැදිහත් වීම ප්‍රතික්ෂේප කලේ ය. පෞද්ගලීකරනය කල් දමා ඇති නමුත්, අනෙකුත් ප්‍රහාර දිගට ම පවතී.

වර්තමාන තත්ත්වය මෙම ක්‍රියාවලියේ අඛන්ඩ පැවැත්මකි. පුරප්පාඩු නිසි පරිදි පුරවනු නොලබන අතර, ස්ථිර සේවකයන් භුක්ති විඳින අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් නොමැති ව කොන්ත්‍රාත් කම්කරුවන් සේවයේ යොදවනු ලැබේ.

මෙම ප්‍රහාර සඳහා වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයන්ට විශාල වගකීමක් පැවරේ. එල්එල්ටී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පුරා ම ඔවුන්ගේ රාජකාරිය වූයේ, සමාගමේ සහ අනුප්‍රාප්තික ආන්ඩුවල දිගුවක් ලෙස ක්‍රියා කරමින්, කම්කරුවන්ගේ විරෝධය පෙත්සම් ව්‍යාපාර, විරෝධතා සහ අධිකරන ක්‍රියා තුල කොටු කර තැබීමයි.

අනුප්‍රාප්තික ආන්ඩුවල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට වෘත්තීය සමිති මූලික විරෝධයක් නැත. විදේශ නය ප්‍රතික්ෂේප කිරීමක්, IMF කප්පාදු වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීමක් හෝ ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව මෙම ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමක් ඔවුහු ඉල්ලන්නේ ද නැත.

වෘත්තීය සමිති නායකයෝ තමන් අතර තීරන ගෙන සේවකයන් කල යුතු දේ නියෝග කරති. ඔවුන්ගේ තීරන යටත් වන්නේ, ආන්ඩුවේ, රාජ්‍යයේ සහ ඔවුන් සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යන ධනපති පන්තියේ අවශ්‍යතාවලට ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇතුලු ධනේශ්වර පක්ෂ විසින් බොහෝ වෘත්තීය සමිති පාලනය කරනු ලබන අතර, ඒවා කම්කරුවන්ගේ අවශ්‍යතා නියෝජනය නොකරයි. සිවිසංසේසං සහ එහි නායක ජගත් ගුරුසිංහ තමන් ස්වාධීන බව පෙන්වා සිටිය ද, ඔවුන් ආන්ඩුවේ නායකයන් සහ විවිධ ව්‍යාජ වාමාංශික කන්ඩායම් සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යති.

එස්එල්ටී-මොබිටෙල් කම්කරුවන් වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රයේ වාගාලංකාර මත විශ්වාසය නොතැබිය යුතු ය. ඒ වෙනුවට, මෙම නායකයන් තමන් මෙතෙක් ගෙන ගොස් ඇත්තේ කොතැනට ද යන්න විමසා බලා, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය තමන්ගේ ම අතට ගත යුතු ය.

මෙම කමිටු ටෙලිකොම් සේවකයන් බැංකු, විදුලිබල, සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සේවකයන් සමඟ මෙන් ම ගොවි ජනතාව සහ නාගරික හා ග්‍රාමීය දුප්පතුන් සමඟ ද ඒකාබද්ධ කරමින්, පාලක පන්තියේ වෙලඳපොල-හිතැති ප්‍රහාරයට එරෙහි පොදු අරගලයකට එක්සත් කල යුතු ය.

සෑම සේවා ස්ථානයක ම, කර්මාන්ත ශාලාවක ම, නිවහන් ප්‍රදේශයක ම සහ ගම්බද ප්‍රදේශයක ම ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා මෙම අරගලය වර්ධනය කල යුතු ය.

තම සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි වන්නේ, ශ්‍රී  ලංකාවේ සහ ජාත්‍යන්තර වශයෙන් සිය අරගල එක්සත් කරමින් සමාජවාදී ප්‍රතිපත්ති සඳහා සටන් කිරීම මගින් පමනක්  බව කම්කරු පන්තියේ සෑම කොටසක් ම අවබෝධ කරගත යුතු ය යන කාරනය සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරයි.

Loading