අත්අඩංගුවට ගත් දෙමල රැප් ගායකයාට “රාජද්‍රෝහී” චෝදනා එල්ල කරන ලෙස නීතිපති උපදෙස් දෙයි

සංගීත්සන් ගනේස්කුමාර් [Photo: Sangeethsan Ganeskumar]

යුද්ධයෙන් විනාශභාග්වූ උතුරේ කිලිනොච්චියේ උදයනගර්හි වෙසෙන රැප් ගායක 24-හැවිරිදි සංගීත්සන් ගනේශ්කුමාර් (“හිප් පොප් ෂැංගී”) යාපනය පොලීසියේ අපරාධ අංශය විසින් ජුනි 2දා විෂඝෝර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගත්තේ ය. චාවකච්චේරි මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ව, පොලීසියේ දැඩි ඉල්ලීම මත, ඔහු ජුනි 17දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරුනි. 

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට දන්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සංගීත්සන්ට “රාජද්‍රෝහී” චෝදනා එල්ල කරන ලෙස නීතිපති උපදෙස් දී ඇති බව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමෙන් පසු, ජූනි 12 දා ඔහුට ඇප ලබා දුන් බව, ශ්‍රී ලංකා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය වාර්තා කලේ ය.

මැයි 31දා, යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි ප්‍රදේශයේ නාවට්කුලිහි හින්දු කෝවිලක දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක දී, සංගීත්සන් ගායනයේ යෙදුනේ ය. පොලිසිය චෝදනා කලේ එම ගීත මගින් බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) වක්‍ර ව උත්කර්ෂයට නංවන බවයි. ඉන් පසු ව, එම ගීතවල සංස්කරනය කරන ලද අනුවාදයන් ඔහුගේ ටික්ටොක් ගිනුමේ ප්‍රසිද්ධ කෙරුනි.

ඔහුගේ ගීත පීටීඒ යටතේ වරදක් ලෙස සැලකිය නොහැකි බවත් ඒ අනුව නඩුව අහක දැමිය යුතු බවත්, නීතිඥ කේ. ජයන්තන් උසාවියේ දී තර්ක කර තිබුනු බව, යාපනය බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින සංගීත්සන් බැලීමට පැමිනි, ඉලංකෙයි තමිල් අරසු කට්චි (අයිටීඒකේ) පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් වාර්තාකරුවන්ට කීවේ ය. උසාවිය ඔහු නිදහස් කිරීම ප්‍රතික්ෂේප කල නිසා, ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව අයිටීඒකේ මන්ත්‍රීවරයා කීවේ ය.

ගායකයා වහා ම නිදහස් කරන ලෙස බලකරමින්, පුද්ගලයන් සිය ගනනක් ජුනි 6 දා කිලිනොච්චි නගරයේ දී උද්ඝෝෂනයක් ද  ජූනි 7දා, උතුරේ වව්නියා නගරයේ දී තවත්  විරෝධතාවක් ද පවත්වන ලදී.

ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන මෙම නග්න ප්‍රහාරය හෙලා දකින සමාජවාදී සමානතා පක්ෂය (සසප), සංගීත්සන් වහා ම හා කොන්දේසි විරහිත ව නිදහස් කරන ලෙස බල කර සිටී. දෙමල ජාතිකවාදයටත්, බෙදුම්වාදී එල්ටීටීඊයටත් එරෙහි ව සසපට පවතින දීර්ඝ-කාලීන සමාජවාදී විරුද්ධත්වය එලෙස තිබියදී ම, පක්ෂය මෙම මූලධර්මාත්මක ඉල්ලීම ඉදිරිපත් කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම,  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුවෙහි අධීක්ෂනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරමින් පවතින ප්‍රහාරයේ කොටසකි. දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරුවන්, දුගීන් හා තරුන ජනයාගේ අරගල මැඬීමට පොලිස්-රාජ්‍ය විධික්‍රම යොදා ගනිමින් පවතී. 

ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට ආවේ, ඒකාධිපතිවාදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට, පීටීඒ අවලංගු කිරීමට, මර්දනීය නීති යොදාගැනීමෙන් වැලකීමට සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමට  පොරොන්දු වෙමිනි.  2009 දී එල්ටීටීඊයේ මිලිටරිමය පරාජයෙන්  අවසන් කෙරුනු, 26-අවුරුදු දෙමල-විරෝධී යුද්ධයෙහි බලපෑම්වලින් තවමත් විඳවන මහජනයා සිටින උතුරේ හා නැගෙනහිරේ දී, මිලිටරි පාලනය යටතේ පැවති ඉඩම්  සාමාන්‍ය ජනයාට ආපසු ලබා දෙන බවත්, දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවටත්, ජවිපෙ/ජාජබ පොරොන්දු විය.

රැප් ගායක සංගීත්සන් ගනේස්කුමාර් නිදහස් කරන ලෙස බලකරමින් කිලිනොච්චියේ දී ජූනි 6දා පැවැත්වූ විරෝධතාව  [Photo: Facebook/Varadan Kirushna]

මෙම පොරොන්දුවල අරමුන වූයේ, හුදෙක් ම  පෙර පැවති පාලනයන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට එරෙහි ව මහජනයා තුල පැවති කෝපය ගසා කෑමයි. දිසානායකගේ පක්ෂය බලයට පැමිනි වහා ම කලේ එම පොරොන්දු අත්හැර දැමීම ය. පොලීසිය නිදහසේ පීටීඒ භාවිතා කිරීමට පිටුබලය දුන් එය, කාර්මික ක්‍රියා තහනම් කිරීමට අත්‍යවශ්‍ය මහජන සේවා රෙගුලාසි පනවා, සාමාන්‍ය නීතියට උඩින් ක්‍රියාත්මක කල හැකි හදිසි නීති රෙගුලාසි සම්මත කලේ ය.

දෙමල බහුතරය ජීවත් වන උතුරේ හා නැගෙනහිරේ දී, “එල්ටීටීඊය” යලි හිස එසවීම වැලැක්වීමේ කඩතුරාවට මුවා වී, දේශපාලන ක්‍රියාකාරීන්, ලේඛකයන්, ජනමාධ්‍යවේදීන් හා තරුනයන් ගැන ඔත්තු බැලීම පොලිසිය හා මිලිටරිය මගින් කර ගෙන යනු ලැබෙයි. සිංහල වර්ගවාදී දේශපාලනය හා දෙමල-විරෝධී ස්වෝත්තමවාදය දිරි ගැන්වීමේ ජවිපෙහි දීර්ඝ-කාලීන වාර්තාව සමගින් ආන්ඩුවේ ක්‍රියාකාරකම් එක පෙලට සිටී. 

සංගීත්සන් අත්අඩංගුවට ගැනීම, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ගායකයන් ක්‍රමානුකූල ව බියවද්දා මර්දනය කිරීමේ කොටසකි: 

*මැයි මාසය අග දී, ගායක එස්. ගෝකුලන් සජීවී ඉදිරිපත් කිරීමක් කරමින් සිටිය දී, ඔහුගේ ගීතය එල්ටීටීඊයට සහයෝගී වන්නේ යයි කියමින් වේදිකාවට කඩා වැදුනු පොලිස් නිලධාරියෝ, ගායනය නවතන ලෙස නියෝග කලහ. ඊට පසු දින, ඔහු පොලිස් ස්ථානයකට කැඳවා ප්‍රශ්න කෙරුනි.

*2025 අගෝස්තුවේ දී, ගනපතිපිල්ලේ කුමනන් නමැති ජනමාධ්‍යවේදියෙකුගෙන් ත්‍රස්ත-විරෝධී ඒකකය විසින් ප්‍රශ්න කරන ලදි, ඒ චෙම්මනි සමූහ මිනී වල ගැන ඔහුගේ වාර්තා කිරීම් හේතුකොට ගෙන ය. ලදරුවන් ද ඇතුලු පුද්ගලයන් 150කගේ පමන ඇටසැකිලි එම මිනී වලෙන් සොයා ගන්නා ලද අතර, ඒවා යුද්ධය සමයේ ඝාතනය කෙරුනු දෙමල ජනයාගේ ශරීර කොටස් යයි විශ්වාස කෙරේ.

*කිලිනොච්චි ප්‍රදේශයේ ගුරුවරයෙකු ලෙස වැඩ කරන ප්‍රදීපන් දීපචෙල්වන්, ඉන්දියාවේ මුද්‍රනය කරන ලද තම පොත් ලංකාවට ගෙන්වූ විට, කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර, එම පොත් “ජාතික ආරක්ෂාවට“ තර්ජනයක් විය හැකි යයි කියමින් රාජසන්තක කිරීමට රේගු නිලධාරීහු පියවර ගත්හ.

*අත්අඩංගුවට ගැනීමෙන් වැලකීම සඳහා සයනයිඩ් කරලක් ගිලීමෙන් පසු, 1974 දී මිය ගිය “දිවිපිදූ පොන් සිවකුමාරන්“ නමැති එල්ටීටීඊ සාමාජිකයාගේ 52වන අනුස්මරනය සංවිධානය කිරීම හේතුවෙන්, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. නිරෝස්ගෙන් ජුනි 5 සිකුරාදා දින පොලීසිය ප්‍රශ්න කලේ ය.

*ගාසාව තුල ඊස්‍රායලය ගෙන යන ජනසංහාරක යුද්ධයට විරුද්ධ මුස්ලිම් වැසියන්ට එරෙහි ව ද මෙම මර්දනය දිගේලි කෙරී ඇත. 2025 මාර්තු 22දා කොලඹ පොලිස් ත්‍රස්ත විරෝධී බලකාය මොහොමඩ් රුස්ඩි නම් මුස්ලිම් තරුනයෙකු පීටීඒ යටතේ අත්අඩංගුවට ගත්තේ, ඊස්‍රායලයේ ප්‍රහාර හෙලා දකින ස්ටීකර ඇලවී යයි චෝදනා කරමිනි. එයට එරෙහි ව නැගුනු පලල් විරුද්ධත්වය මධ්‍යයේ, සති දෙකක් රඳවා ගැනීමෙන් පසු ව ඔහු නිදහස් කිරීමට පොලීසියට සිදු විය.

*පීටීඒ යටතේ ම ඉදිරිපත් කල ඒ හා සමාන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් 21-හැවිරිදි මුස්ලිම් ජාතික මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල් නමැති තරුනයා 2024 ඔක්තෝබරයේ සිට මාස නවයක් රඳවා ගැනුනි.

එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් වසර දාහතකට පසු ව, රටෙහි උතුරු හා නැගෙනහිර පලාත් අඛන්ඩ මිලිටරි වාඩිලා ගැනීම යටතේ පැවතීම සහ පලල් ලෙස දිවයින පුරා ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරයන් පැටවීම පිලිබිඹු කරන්නේ, උත්සන්න වෙමින් සමාජ අසමානතාව කෙරෙහි කෝපය ගැන පාලක පන්තියට පවතින ගැඹුරු භීතිය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) විධානයන් සමග ගැලපෙන පරිදි, ඉහල බදු, විදුලිය ඇතුලු උපයෝගී සේවාවන් සඳහා ගාස්තු ඉහල නැංවීම සහ සමාජ වියදම් කප්පාදුව ඇතුලු වැඩ කරන ජනයාට එරෙහි ම්ලෙච්ඡ කප්පාදු පියවරයන්, ජවිපෙ ආන්ඩුව විසින් පටවමින් තිබේ. කම්කරුවන්ගේ හා දුගීන්ගේ අනාගත අරගල මර්දනය කිරීමට සූදානම් වෙමින්, ආන්ඩුව මර්දන යාන්ත්‍රනය ශක්තිමත් කරමින් සිටී. ගායක සංගීත්සන්ට එරෙහි ව ගැනෙමින් පවතින විෂඝෝර ක්‍රියාව සැලකිය යුත්තේ, පලල් ලෙස මහජනයාට එරෙහි ව සූදානම් කරනු ලබන ප්‍රහාර පිලිබඳ වැඩිදුර අනතුරු ඇඟවීමක් ලෙසිනි.

දෙමල පක්ෂ කිහිපයක් ම සංගීත්සන් අත්අඩංගුවට ගැනීම හෙලා දැක ඇත. අයිටීඒකේ මන්ත්‍රී එස්. සිරිදරන් කීවේ, තරුන ජනයාට සංක්‍රමනය වීමට බල කරමින්, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කෙරෙමින් පවතින බවත්, වර්ගවාදය ඉහවහා ගොස් ඇති බවත් ය. චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ඇතුලු හිටපු ජනාධිපතිවරුන් ගිය මාර්ගය ම දිසානායක ආන්ඩුවත් අනුගමනය කරන බව ඔහු තවදුරටත් කීවේ ය.

දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑෆ්) සහ අනෙකුත් ජාතිකවාදී සංවිධාන, මෙයට මැදිහත් වන ලෙස ඊනියා “ජාත්‍යන්තර ප්‍රජාවට“ ආයාචනා කර ඇත. ප්‍රජාතතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිමින්, ලංකාවේ ආන්ඩුව “ජාත්‍යන්තර විමර්ශනවලින් පලා යන” බව, ටීඑන්පීඑෆ් ප්‍රධාන ලේකම් සෙල්වරාජ් ගජේන්ද්‍රන් කීවේ ය.

මෙම ප්‍රකාශ ප්‍රෝඩාවකි. [ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ලෙස වෙස් ගන්වන] එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන් කොලඹ පාලන තන්ත්‍රයන්ගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට පිටුබලය දෙනු ලැබ දැන් අඛන්ඩ ව එසේ කරමින් සිටීම ධාවනය වන්නේ, ඔවුන්ගේ ම උත්සුකතාවන්ගෙනි. ආන්ඩුව මත ඔවුන්ගේ පාලනය ශක්තිමත් කර ගැනීමට පමනක්, සමහර අවස්ථාවල දී ඔවුහු ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳව හුවා දක්වති. 

දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම අරබයා, මහජනයා රැවටීමට පමනක් පීටීඒ අවලංගු කරන ලෙස හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස කැඳවුම් කරන දෙමල ධනපති පක්ෂ කෙරෙහි විශ්වාසය තැබිය නො හැක. දෙමල ප්‍රභූවේ වරප්‍රසාද සුරක්ෂිත කරගනු වස්, ඔවුහු දිසානායක පාලනයට සහයෝගය දීමට වෑයම් කරති.

විවෘත ව අධිරාජ්‍යවාදයට ගැති මෙම පක්ෂ, ගාසාවේ ජනසංහාරක ප්‍රහාරය ඇතුලු ව, මැද පෙරදිග කලාපය තුල එක්සත් ජනපද-ඊස්‍රායල යුද්ධ හා මිලිටරි මෙහෙයුම්වලට සහාය දක්වති.

ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු දියත් කල ම්ලේච්ඡ දෙමල-විරෝධී වාර්ගික යුද්ධයට විරුද්ධ වුනු සසප, උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය මුලුමනින් ම ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටී. සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු වර්ගවල කම්කරු පන්තියට හා ගම්බද ජනයාට අපි කැඳවුම් කරන්නේ, ඒකාබද්ධ වී සියලු ධනපති පක්ෂවලට එරෙහි ව, සමාජවාදය හා ජාත්‍යන්තරවාදය සඳහා අරගලය සියතට ගන්නා ලෙස යි. වාර්ගික වෙනස්කම් කිරීම් අවසන් කල හැකි වන්නා වූත්, දෙමල සුලුතරයේ සහ අනෙකුත් පීඩිත ප්‍රජාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කල හැකි වන්නා වූත් එක ම මාවත එය යි. 

****

දීපචෙල්වම් හා ගනේශන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් මෙන් ම ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරවලට එරෙහි ව හඬ නගන ලෙසත්, ඔබගේ ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලෙසත් සියලු ම සිතන මතන බැරෑරුම් කලාකරුවන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.    

Loading