නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින්, ජාත්‍යන්තර සම්භාවනාවට පත් ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප්‍රකාශයක් එවා තිබේ. එයට පදනම් වන්නේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය ආන්ඩුව (ජවිපෙ/ජාජබ) යටතේ ශ්‍රී ලංකා රේගුව, “ජාතික සමගිය” ආරක්ෂා කිරීමේ වංචනික ධජය යටතේ,සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් ගේ පොත් දෙකක් මාර්තු අගදී අත්අඩංගුවට ගැනීම සහ ජූනි 2දා යාපනය ප්‍රදේශයේදී තරුන රැප් ගායකයෙකු වන සංගීත්සන් ගනේශ්කුමාර්- වක්‍රාකාරයෙන් එල්ටීටීඊයට ඔජවැඩුවේ ය යන චෝදනා නගමින්- විෂකුරු ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ අත් අංඩගුවට ගැනීමේ සිදුවීම් දෙකයි.
මෙම සිදුවීම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු මහජනයා මත පටවමින් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව සමස්තයක් ලෙස කම්කරු පන්තිය මත එල්ල කර ඇති ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාර මාලාවක කොටසකි.
කලාවට හා නිදහස් අදහස් ප්‍රකාශනයට එරෙහිව ඉකුත් ධනපති ආන්ඩු ද මෙයාකාරයෙන්ම ප්‍රහාර එල්ල කිරීමේ කුප්‍රකට වාර්තාවකට හිමිකම් කියන අතර විතානගේ ගේ නිර්මාන ද ඒ අතර වේ. සිංහල ගැමියන් මත වර්ගවාදී යුද්ධයේ විනාශකාරී බලපෑම සම්බන්ධයෙන් බලගතු කලාත්මක ප්‍රකාශනයක්වූ පුරහද කලුවර චිත්‍රපටය 2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංගගේ මහජන සන්ධාන ආන්ඩුව විසින් තහනම් කිරීම මෙහිලා සුවිශේෂ ය. ජාත්‍යන්තරව සම්භාවනාවට ද පත් එම චිත්‍රපටිය, හදිසි නීති බලතලද යොදාගනිමින් තහනම් කිරීමට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය එවකදී බලගතු උද්ඝෝෂනයක් දියත් කල අතර, කලාකරුවන් හා සිතන මතන කොටස්වලින් එල්ලවූ බලගතු විරෝධය මැද තහනම ඉවත් කිරීමට කුමාරතුංගගේ ආන්ඩුවට බලකෙරුනි.
දීපචෙල්වම් හා ගනේශන්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් මෙන්ම ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රහාරවලට එරෙහිව හඩ නගන ලෙසත්, ඔබගේ ප්‍රකාශ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලෙසත් සියලුම සිතන මතන බැරෑරුම් කලාකරුවන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
පහත පලවන්නේ ප්‍රසන්න විතානගේ විසින් එවන ලද සම්පූර්න ප්‍රකාශය යි:
සංගීත්සන් ගනේශ්කුමාර් රැප් ගායකයා ත්‍රස්තවාදයෙන් ආරක්ෂකාවේ වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගැනීමත්, ලේඛක දීපන් චෙල්වම් රචිත පොත් කිහිපයක් රේගුව විසින් රඳවා ගැනීමෙන් පෙන්නුම් කරන්නේ වර්තමාන ජවිපෙ/ජාජබ ආන්ඩුවද පෙර ආන්ඩු මෙන්ම “සිංහල බෞද්ධ” ආන්ඩුවක් බවයි. ත්‍රස්තවාදයෙන් ආරක්ෂා වීමේ පනත ආහෝසි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිනි ආන්ඩුවක් එම පනත යටතේ ගායකයෙක් අත් අඩංගුවට ගැනීම උත්ප්‍රසායකි.
“ජාතික ආරක්ෂාවට තර්ජනයක්” වහර මෙරට සෑම ආන්ඩුවක් ම ප්‍රකාශන නිදහස මර්දනය කිරීමට උපයෝගි කරගත් වහරකි. වර්තමාන ආන්ඩුව ද එය මෙම දෙමල කලාකරුවන් කෙරෙහි සැකයක් මෙන්ම බෙදීමක් ඇති කිරීමට භාවිතා කර ඇත.
වර්තමාන ආන්ඩුවේ “ජාතික සමගිය හා සංහිදියාව” හිස් වදන් බවට පත් කරමින් දිග හැරුනු මේ සිදුවීම් දෙක සමගිය සහ සංහිදියාව ආන්ඩුවම ක්‍රියාත්මක කරන්නේ, මහ ජාතියේ කොන්දේසි මත බව තහවුරු කරයි.
ආන්ඩුවේ මෙම තීන්දුවලින් සිදුවන්නේ, එකම රටක් තුල දෙමල බස කතා කරන ජනතාව “අනෙකෙකු” බවට පත්වීම යි.
“අනෙකෙකු” පවතින සමාජයක සමාජ සාධාරනත්වයත් සංහිදියාවත් බලාපොරොත්තුවිය නොහැක. මෙරට ජීවත්වන සියලු ජනතාවගේ සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින මම, ප්‍රදීපන් දීපචෙල්වම් සහ සංගත්සන් ගනේශ්කුමාර් ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි.
ප්‍රසන්න විතානගේ
වැඩිදුර කියවන්න
- ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් ගේ කෘති රේගුවේ රඳවා ගැනීම: ජවිපෙ/ජාජබ ආන්ඩුව ප්‍රකාශනයේ නිදහසට එල්ල කල බලගතු ප්‍රහාරයක්
- ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව, ඔබ එක්ක: ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ මානුෂීය ප්‍රතිවිපාක
- "පුරහඳ කලූවර වෙනුවෙන් පෙනී සිටින ලෙස, සිතන මතන සැමගෙන් මා ඉල්ලා සිටිනවා" චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සමග දෙබසක්
