ඉදිරිදර්ශන

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධය කම්කරු පන්තියට ගෝලීය ආර්ථික හා සමාජීය ව්‍යසනයක් කඩාපාත් කරයි

[මෙය US imperialism’s war on Iran unleashes global economic and social catastrophe for the working class යන මැයෙන් 2026 අප්‍රේල් 13 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

පෙබරවාරි 28දා රාත්‍රියේ, ෆැසිස්ට්වාදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව සාපරාධී එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය දියත් කිරීමෙන් මාස දෙකකටත් අඩු කාලයක දී, මෙම ගැටුම ලොව පුරා සිටින කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට විනාශකාරී ආර්ථික බලපෑමක් ඇති කරමින් තිබේ.

ලෝකයේ වඩාත්ම තීරනාත්මක බලශක්ති නිෂ්පාදන කලාපයක් වන මැද පෙරදිග මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ අධිෂ්ඨානයෙන්, ඇමරිකානු අධිරාජ්‍යවාදය, සති හයක් තුල සිදුකල කුරිරු හා ඉව බව නැති බෝම්බ හෙලීම්වලින් දැනටමත් ඉරාන වැසියන්ගේ ජීවිත දහස් ගනනක් බිලිගෙන තිබේ. නමුත්, එක්සත් ජනපදය විසින් උසිගන්වන ලද යුද්ධයේ සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමේ ආර්ථික ප්‍රතිවිපාක ඊටත් වඩා මාරාන්තික විය හැකි බව පෙන්නුම් කරමින් තිබේ.

යුද්ධය ආරම්භ වීමට පෙර, හෝමූස් සමුද්‍ර සන්ධිය, ගෝලීය තෙල් ප්‍රවාහනයෙන් සියයට 20 ක් පමන සහ ස්වාභාවික ගෑස් නැව්ගත කිරීම් වලින් සැලකිය යුතු කොටසක් සඳහා දායක විය. මෙම බලශක්ති සැපයුම් කඩාකප්පල් කිරීමෙන් ඇති වන ප්‍රතිවිපාක දැනටමත් ලෝක ආර්ථිකය පුරා දෝංකාර දෙමින් තිබේ. ඒවාට, ඉන්ධන පිරිවැය ඉහල යාම, විදුලි ගාස්තු ඉහල යාම සහ බිලියන සංඛ්‍යාත ජනතාව සඳහා ප්‍රවාහන වියදම් ඉහල යාම ඇතුලත් වේ.

මැදපෙරදිග පොහොර නිෂ්පාදනයේ ප්‍රධාන රටක් ද වන බැවින්, උතුරු අර්ධගෝලයේ ගොවීන් සඳහා අස සමය මධ්‍යයේ පොහොර මිල ගනන් ඉහල ගොස් තිබේ. එහි ප්‍රතිවිපාක ලෙස බෝග සඳහා නිෂ්පාදන පිරිවැය වැඩිවීම සහ අස්වැන්න අඩුවීම යන දෙකම සිදුවිය හැකි අතර, පිරිවැය අඩු කිරීමට ගොවීන් අඩුවෙන් වගා කිරීම හෝ පොහොර අඩුවෙන් භාවිතා කිරීම  තෝ‍රා ගන්නා බැවින්, ඉදිරි මාසවල සිට 2027 දක්වා ආහාර මිල සර්පිලාකාරව ඉහල යනු ඇත. 

රක්ෂන වාරික ඉහල යාම සහ වෙනත් වෙලඳ මාර්ග සොයා ගැනීමට සිදුවීම මගින් සංකීර්න වී ඇති නැව්ගත කිරීමේ බාධාවන්, ආහාර ආනයන මිල ගනන් තවදුරටත් ඉහල යාමට හේතු වී තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් සෘජු ව ම බලපෑමට ලක් නොවූ ගමනාගමනවලට පවා එය බලපාන බව අවධාරනය කරමින්, යුද්ධය පුපුරා යාමෙන් මාසයක් ඇතුලත බහාලුම් භාන්ඩ ප්‍රවාහන මිල දර්ශකය සියයට 10 කින් ඉහල ගොස් තිබේ.

ඇමරිකානු සහ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර මගින් පාසල්, රෝහල් සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීමට අමතරව, ඉරානයේ කම්කරු පන්තිය යුද්ධයේ ආර්ථික බර දරා සිටී. ගැටුමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ආසන්න වශයෙන් මිලියන 2 ක කම්කරුවන්ට රැකියා අහිමි වී ඇති බව ආන්ඩුවේ නියෝජිතයෙක් පිලිගත්තේය.

මැදපෙරදිගින් ආනයනය කරන තෙල් මත දැඩි ලෙස රඳා පැවතීම හේතුවෙන්, ආසියා-පැසිෆික් කලාපය පුරා යුද්ධයේ බලපෑම විශේෂයෙන් උග්‍ර වී ඇත. සාමාන්‍යයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන බොරතෙල් සහ ද්‍රවීකරනය කල ස්වභාවික වායු (LNG) වලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමානයක්, චීනය සහ ජපානය වැනි ප්‍රධාන කාර්මික ආර්ථිකයන් ඇතුලුව ආසියා-පැසිෆික් කලාපයේ රටවල් සඳහා ය. ඉන්දියාවේ ප්‍රධාන නගරවල ඉන්ධන මිල තියුනු ලෙස ඉහල ගොස් ඇති අතර, සති කිහිපයක් ඇතුලත පෙට්‍රල් සහ ඩීසල් පිරිවැය දල වශයෙන් සියයට 10-15 කින් වැඩි වී තිබේ.

ඉන්දුනීසියාවේ නිකල් නිෂ්පාදකයින්, ලෝහ නිස්සාරනය හා පිරිපහදු කිරීම  කිරීමට වුවමනා ඉහල උෂ්නත්වයන් උත්පාදනය කරගැනීමට අවශ්‍ය වන ස්වභාවික වායුව සහ සල්ෆර් හිඟය හේතුවෙන් තම නිෂ්පාදනය අවම වශයෙන් සියයට 10 කින් අඩු කර තිබේ. රෙදිපිලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන, පොසිල ඉන්ධනවල අතුරු ඵල වන පොලියෙස්ටර් සහ නයිලෝන් හිඟය හේතුවෙන් බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවලට ද දැඩි බාධා එල්ල වී තිබේ.

බලපෑමේ තවත් තීරනාත්මක කලාපයක් වන්නේ විදෙස් විනිමය අවහිර වී යාමයි. දකුනු ආසියාවේ සහ අප්‍රිකාවේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් ගල්ෆ් කලාපයේ සේවය කරන අතර, ඔවුහු තම දුප්පත් පවුල්වලට අත්‍යවශ්‍ය ආදායම සිය නිවෙස්වලට  යවති. ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී කරමින් සහ රැකියා අවස්ථා හකුලා දමමින්, යුද්ධය මෙම ගලා ඒම්වලට බාධා කර තිබේ.

2026 මාර්තු 23 වන සඳුදා ඉන්දියාවේ අහමදාබාද්හි, ඇමරිකානු ඉරාන යුද්ධය හේතුවෙන් ඇති විය හැකි ඉන්ධන හිඟයක් ගැන බියෙන්, මෝටර් රථ හිමියෝ ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන හලක පෝලිමේ සිටිති [AP Photo/Ajit Solanki]

ඉරානයට එරෙහි යුද්ධයට, ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 36 කට ඩොලර් බිලියන 300 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවටත් මිලියන 8.8 ක් දක්වා ජනතාවක් දරිද්‍රතාවයට ඇද දැමිය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මෑත වාර්තාවක ඇස්තමේන්තු කර ඇත. මෙම පුද්ගලයින්ගෙන් මිලියන පහක් ජීවත් වන ඉරානයේ මානව සංවර්ධන දර්ශකය, යුද්ධය හේතුවෙන් දැනටමත් වසර 1–1.5 ක් අහිමි කරගෙන ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය තවත් සති කිහිපයක් අවහිර වී පැවතුනහොත්, ආසියා-පැසිෆික් කලාපය පුරා “රටවල් කිහිපයක් කලබලකාරී කම්පනයන්ට සහ පසුව අවපාතයකට” තල්ලු කල හැකි ආකාරයේ හිඟයකට මුහුන දිය හැකි බවට, නිව්යෝර්ක් ටයිම්ස් අප්‍රේල් 20දා දීර්ඝ විශ්ලේෂනයකින් තම කනස්සල්ල පල කලේ ය. තායිවානයේ නිපදවන මෘදුකාංග නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අර්ධ සන්නායක ඇතුලු ඉහල මට්ටමේ නිෂ්පාදනය පවා ගැටලු වලට මුහුන දෙයි. යුද්ධයට පෙර, අර්ධ සන්නායක නිෂ්පාදන ක්‍රියාවලියේ තීරනාත්මක අංගයක් වන හීලියම්වල ලෝකයේ මුලු නිෂ්පාදනයෙන් තුනෙන් එකක් නිෂ්පාදනය කලේ කටාර් රාජ්‍යය යි. නමුත් එහි ගෑස් ගබඩාවන්ට ඉරානයේ පලිගැනීමේ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු මාර්තු 2දා එය නිෂ්පාදනය නතර කලේය. ටයිම්ස් පවසන පරිදි, මෘදුකාංග නිෂ්පාදනය කප්පාදු කිරීම “ඉලෙක්ට්‍රොනික උපකරනවල සිට මෝටර් රථ දක්වා සෑම දෙයකටම බලපානු ඇත.'

අප්‍රිකාවේ, නයිජීරියාව දැවැන්ත තෙල් නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වුවද, එහි ඉන්ධන මිල සියයට 50 කට වඩා ඉහල ගොස් තිබේ. මිලියන 240 ක් පමන ජනතාවක් සිටින එරට, පිරිපහදු කල තෙල් නිෂ්පාදන ආනයනය මත දැඩි ලෙස යැපෙන බැවින්, පෙට්‍රල් මිල සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති අතර, එය පොදු ප්‍රවාහන වියදම් සහ ප්‍රධාන ආහාරවල මිල ඉහල යාමට හේතු වී තිබේ. කෙන්‍යාවේ, තෙල් ආනයන පිරිවැය සියයට 68 කින් ඉහල යාමෙන් පසුව, ඉන්ධන මිල නියාමකයා අප්‍රේල් මැද භාගයේදී පෙට්‍රල් මිල සියයට 16 කට වඩා සහ ඩීසල් මිල සියයට 24 කට වඩා ඉහල නැංවූයේ ය.

බොහෝ අප්‍රිකානු රටවල් යැපෙන්නේ, ආනයනික පොහොර මත ය. ස්වාභාවික ගෑස් මිල ඉහල යාම ගොවීන්ගේ පිරිවැය ඉහල යාමට හේතු වී ඇති අතර, යැපුම් මාර්ගය ලෙස ගොවිතැන පවතින ප්‍රදේශවල බෝග අස්වැන්න අඩු වීමකට සහ සාගතයකට තර්ජනය කරයි. ඒ සමඟම, රටවල් කිහිපයක මුදල් අවප්‍රමානය වීම, ගෝලීය මිල ඉහල යාමේ බලපෑම වැඩි කරමින්, ආනයන මිල තවත් ඉහල දමමින්, සැබෑ වැටුප් ඛාදනය කරමින් සහ මූල්‍යමය වශයෙන් අසරන ආන්ඩුවල දැනටමත් අඩපන වී ඇති නය ආපසු ගෙවීමේ පිරිවැය ඉහල නංවා තිබේ.

යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ඉන්ධන මිල ද තියුනු ලෙස ඉහල ගොස් ඇති අතර, ආර්ථික වර්ධනය එක තැන පල්වීම, දැවැන්ත ලෙස රැකියාවන්ගෙන් දොට්ට දැමීම් සහ සෑම රටකම පාලක ප්‍රභූන් විසින් පුම්බා ඇති මිලිටරි අයවැය සඳහා ගෙවීම සහ මූල්‍ය කතිපයාධිකාරයේ පොහොසත් වීම සඳහා සමාජ ප්‍රහාර එල්ල කරමින්, වැඩ කරන ජනතාවගේ අයවැය මත තවත් බර පටවා ඇත. ජර්මනියේ, ජාතික ගුවන් සේවයක් වන ලුෆ්තන්සා, රැකියා සුරක්ෂිතභාවය සහ වැටුප් වැඩිවීම් සඳහා දහස් ගනනක් ගුවන් සේවකයින්ගේ වැඩ වර්ජනයක් මධ්‍යයේ, එහි සිටිලයින් අනුබද්ධිත ආයතනය වහාම වසා දමන බව නිවේදනය කලේ ය. මහාද්වීපයේ ආන්ඩු කම්කරුවන්ගේ ජීවනෝපායන් සහ සමාජ වැඩසටහන් වල වියදමින් ඔවුන්ගේ කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතා ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ගේ ම යුද යන්ත්‍ර සඳහා යුරෝ ට්‍රිලියන ගනනක් ආයෝජනය කරමින් සිටී.

වෝල් ස්ට්‍රීට් ජර්නලය, අත්ලාන්තික් සාගරය හරහා මූල්‍ය, තාක්ෂනික, විනෝදාස්වාද සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියා කප්පාදු සමඟ “මහා දොට්ට දැමීමේ” යුගය නිවේදනය කර තිබේ.

ඊට විපරීත ව, යුද්ධය සංගත සහ මූල්‍ය කතිපයාධිකාරයට වාසිදායක අවස්ථාවක් බව ඔප්පු වෙමින් පවතී. එක් විමර්ශනයකට අනුව, ලෝකයේ ප්‍රධාන තෙල් සමාගම් 2026 දී පමනක් ඩොලර් බිලියන 230 කට වඩා අමතර ලාභ උපයා ගනු ඇති බවට ගනන් බලා තිබේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කර ඇත්තේ, ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධය තුන්වන ලෝක යුද්ධයක මුල් අවධියේ එක් පෙරමුනක් බවයි. එයට යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ යුද්ධය සහ චීනය සමඟ මිලිටරි ගැටුමක් සඳහා වන සූදානම ඇතුලත් වේ. උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය නැවත බෙදාගැනීමේ දී ආධිපත්‍යය සඳහා පොරකන විට, ඔවුන්, අර්බුදකාරී ධනවාදය සහ එහි උමතු ප්‍රතිපත්ති මගින් ඇති කරන ගෝලීය ආර්ථික හා සමාජ ව්‍යසනයෙන් බිලියන සංඛ්‍යාත කම්කරුවන්ට ඇති වන බලපෑම කෙරෙහි සම්පූර්නයෙන්ම උදාසීන ය. නමුත් මෙම ව්‍යසනය ම, යුද්ධය සහ එහි මූල හේතුව වන ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කිරීම උදෙසා කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ ද්‍රව්‍යමය කොන්දේසි ද නිර්මානය කරයි.

මෙහිදී, 1916 සහ 1917 කාලය තුල යුරෝපය පුරා ආහාර කෝලාහල අධිරාජ්‍යවාදී සංහාරයට එරෙහි ව වැඩෙන මහජන විරෝධයට ආරම්භක ප්‍රකාශනයක් ලබා දුන්, පලමු ලෝක යුද්ධය සමග පවතින සමානකම් කැපී පෙනේ. මේවා අතුරින් වඩාත් ම විපාකදායක වූයේ, පාන් ඉල්ලා සිටිමින්, 1917 මුල් භාගයේ දී පෙට්‍රොග්‍රෑඩ්හි පුපුරා ගිය විරෝධතා වන අතර, එය රුසියාවේ පෙබරවාරි විප්ලවයේ ආරම්භය සනිටුහන් කලේ ය. මාස අටකට පසු, ලෙනින් සහ ට්‍රොට්ස්කි යටතේ බොල්ෂෙවිකයෝ ලෝක යුද්ධය අවසන් කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලයට ගෙන ආහ.

අද වන විට ලෝක ආර්ථිකය කෙතරම් දුරට ඒකාබද්ධ වී ඇති ද යත්, යුද්ධයෙන් අවුලුවාලූ සමාජ නොසන්සුන්තාවේ ආරම්භක ප්‍රකාශන එහි මුල් සතිවල දී ම පුපුරා ගොස් තිබේ. අප්‍රේල් 10 වැනි දා සිට ඉන්දියාවේ ජාතික අගනුවර කලාපයේ කාර්මික කම්කරුවො දස දහස් ගනනක් යුද්ධයෙන් අවුලුවන ලද මිල ඉහල යාමට එරෙහි ව වැඩ වර්ජන සහ විරෝධතා දියත් කලහ. ඉහල කුලී, ඉන්ධන පිරිවැය සහ ආහාර මිල ගනන් ආවරනය කිරීම සඳහා ඔවුහු වැටුප් වැඩිවීම් ඉල්ලා සිටියහ. පිලිපීනය සහ අයර්ලන්තය වැනි විවිධ රටවල ද විරෝධතා පුපුරා ගොස් තිබේ.

1917 දී මෙන් දැන් ද තීරනාත්මක කර්තව්‍යයන් වන්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික, ඒකාබද්ධ ව්‍යාපාරයක් වර්ධනය කිරීම සහ කම්කරුවන්ගේ දේශපාලන බලය සඳහා අරගලයට නායකත්වය දිය හැකි මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා වන සටනයි.

අර්බුදයේ ගෝලීය ස්වභාවය, ජාතික බෙදීම් සහ ප්‍රතිවිරුද්ධ මිලිටරිවාදය ඉක්මවා යන ජාත්‍යන්තර ප්‍රතිචාරයක් ඉල්ලා සිටී. ඉරානය, එක්සත් ජනපදය, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාවේ කම්කරුවෝ යුද්ධය සහ එයට හේතු වූ බංකොලොත් ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම සඳහා වන පොදු උත්සුකතාවක් බෙදා ගනිති. මේ සඳහා, නිෂ්පාදනය, පුද්ගලික ලාභයට වඩා, මානව අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සංවිධානය කිරීම සහතික කරනු වස්, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කම්කරුවන්ගේ පාලනය යටතට ගැනීමට, සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

Loading