“පාසල පවත්වා ගෙන යාමට වෙන තැනක් නොලැබුනොත් මට යන එන මං නැතිවෙනවා”: දිට්වා සුලි කුනාටුවෙන් විපතට පත් පෙර පාසල් ගුරුවරියක්

දිට්වා සුලිකුනාටුව සහ එහි ප්‍රතිඵලයක් වූ අනෝරා වැස්ස, සුවිසල් ගංවතුර සහ නාය යාම් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ සිය ගනනක් ජනයා මිය ගොස් ඇති අතර, අතිවිශාල බහුතරයකට ඇඳිවත හැර අන් සියල්ල අහිමි වී ඇත. ඔවුන්ට සියලු සහන සලසන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජාතික ජන බලවේග ආන්ඩුව (ජාජබ) පම්පෝරි ගැසුව ද ප්‍රමානවත්  ආහාර, පානීය ජලය සහ සෞඛ්‍යාරක්ෂක පහසුකම් නොලැබුන බවත් තමන් ගැන සොයා බැලීමට ආන්ඩුවේ කිසිදු බලධාරියෙකු නොපැමිනි බවටත්  බොහෝ දෙනෙක්  චෝදනා කරති. 

ජනාධිපති දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජාබ) ආන්ඩුව උත්සුක වන්නේ, විපතට පත් ජනයාට සහන සැලසීමට නොව, “රට යලි ගොඩ නැගීමේ” කඩතුරාව යටතේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට අමතරව මෙම ව්‍යසනයේ බර ද කම්කරු-පීඩිත ජනයා මත පැටවීමටයි.

ව්‍යසනය ගැන කරුනු විමසා බැලීම සඳහා පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට හමු වූ විපතට පත් වුවෝ තමන් මුහුන දී සිටින අතිශය ඛේද ජනක තත්වය පිලිබඳව විස්තර කලහ:

හලාවත, කුඩාවැව පදිංචි වයස අවුරුදු 60 ක් වන ඩබ්ලිව්.මේරිගේ නිවස අඩි 4ක් පමන ජලයෙන් යට වී තිබේ. හෘදයාබාධයකින් තම සැමියා 2009 වසරේ මිය යෑමෙන් පසු ඇය සිය දියනියන් දෙදෙනා හා පුතා සමග දුෂ්කර ජීවිතයක් ගත කරයි. ගංවතුර හේතුවෙන් දින තුනක් අසල්වැසි නිවසක රැඳී සිටි මේරි තවදුරටත් එහි රැඳි සිටිය නො හැකි බැවින් දෙසැම්බර් 01 දා යලි තම නිවසට පැමින ඇත.  

ඇය මෙසේ පැවසුවාය: “ග්‍රාමසේවක අපිට දින 2ක්  බත් පැකට් දුන්නා. ඊට පසුදින දෙකේ අසල්වැසියෝ තමයි උදව් කලේ. වලං, පිඟන් කෝප්ප සියල්ල වතුරට ගසාගෙන ගිහිං. ගෙදර ෆෑන් එක, වතුර උනු කරන හීටරය කලින් හරියට වැඩ කලෙත් නෑ. සමහර වෙලාවට කරන්ට්  වදිනවා. දැන් කැඩිලද දන්නේ නෑ. දවස් 5ක් කරන්ට් එක තිබුනේ නෑ. ගෙදර මදුරු දැලැක්වත් නෑ.”

මේරි සහ අසනීප තත්වයේ පසුවන වැඩිමහල් දියනිය යැපෙන්නේ වයස අවුරුදු 22 ක් වන ඇයගේ පුතා කුලී වැඩ කර උපයන සුලු මුදලකිනි. මේරි වැඩිදුරටත් මෙසේ කියා සිටියා ය. “මට අස්වැසුමෙන් රුපියල් 10,000 ක් මාසයකට ලැබෙනවා. ඒකෙන් ජීවත් වෙන්න බෑ. පුතාට වැඩක් නො‍ලැබෙන දවස්වලට අපිට හරියට කන්නත්  නෑ. මේ විනාශයෙන් පස්සේ පුතාට වැඩක් හොයා ගන්න එක තවත් අමාරු වෙයි.”

ඇයගේ  සහෝදරිය වන ඩබ්ලිව්.ෆ්ලෝරාගේ පවුල් පසුබිම ඊට බොහෝ සෙයින් සමාන වන අතර ඇය ද  අබලන් වූ නිවසක වාසය කරයි. ඇය, බලයට පත්වන ධනපති ආන්ඩු ග්‍රාමීය දිලිඳුකම තුරන් කිරීම සම්බන්ධව දෙන බොරු පොරොන්දු හෙලා දුටුවා ය. 

නොවැම්බර් 28 වන දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේනට ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට, එදින උදෑසන, නෝර්ටන් බ්‍රිජ් අසල හමුදා ආරක්ෂක මුරපොල මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන්, එක් සොල්දාදුවෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලැබූ බව සැලවිය. ගිනිගත්හේන-නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ, නෝර්ටන් බ්‍රිජ් ජලාශය අසල පිහිටා ඇති මෙම ආරක්ෂක මුරපොල වෙතට ගිය වාර්තාකරුවන්ට ප්‍රදේශවාසීහු සිද්ධිය විස්තර කලහ. 

නාය යෑමට අසු ව විනාශයට පත් වූ නොර්ටන් බ්‍රිජ් හි හමුදා මුරපොල

අනතුරට ලක් වූ සොල්දාදුවන්, නොර්ටන් බ්‍රිජ් ජල විදුලි බලාගාරය සහ නොර්ටන් බ්‍රිජ් ජලාශය ආරක්ෂා කිරීම සඳහා අනුයුක්ත කර ඇති ශ්‍රී ලංකා හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයන් බවත්, මුරපොල ශක්තිමත් කොන්ක්‍රීට් ව්‍යුහයකින් ඉදිකර තිබුනේ නම්, සිදු වූ ආපදාව වලක්වා ගැනීමට බොහෝ ඉඩකඩ තිබූ බවත් ප්‍රදේශවාසීහු පැවසුහ.

මිය ගිය සොල්දාදුවා වයස අවුරුදු 18 දී හමුදාවට බැඳුන  බවත්, වසර 20 ක සේවා කාලයක් සම්පූර්නකර ඔහුට විශ්‍රාම යාමට සුදුසුකම් ලැබීමට තිබුනේ  දින කිහිපයක් පමනක් බවත්, මරනය ගැන දැනගත් වහාම එම ස්ථානයට පැමින සිටි විශ්‍රාමික හමුදා සාමාජිකයෙක් පැහැදිලි කලේය. එවැනි අනතුරුදායක, තාවකාලික මුරපොලවල්වල සොල්දාදුවන් ස්ථානගත කිරීම සම්බන්ධයෙන් ඔහු හමුදා බලධාරීන් සහ ආන්ඩු දැඩි ලෙස විවේචනය කලේ ය.

“අපි හැමෝම වගේ අවුරුදු 18 දී හමුදාවට බැඳුනේ දුප්පත්කම නිසා. අවුරුදු 26 ක සිවිල් යුද්ධයේදී දහස් ගනනක් මිය ගියා. දැන්, ගංවතුරෙන් සහ නායයෑම්වලින් ජනතාව බේරා ගැනීමට උත්සාහ කරන අතරතුර තවත් හමුදා භටයන් මිය යමින් සිටිනවා. මේ හමුදා භටයන් ජීවිත ගලවා ගැනීමට පුහුනුව ලත් අය නොවෙයි. අවශ්‍ය වන්නේ නවීන තාක්‍ෂනයෙන් සන්නද්ධ නිසි පුහුනුව ලත් සිවිල් ගලවා ගැනීමේ බලකායක්. ඒ වෙනුවට, ආන්ඩු, අවශ්‍ය පුහුනුව හෝ ආරක්ෂාව නොමැතිව හමුදාව ආපදා කලාපවලට යොදවනවා” යැයි ඔහු චෝදනා කලේ ය.

මහනුවර ගන්නෝරුවේ පිහිටි ෆ්ලෝරා පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මුලුමනින් ම විනාශ වී ඇත. ඒ අවට තවත් නිවාස දෙකක් සම්පුර්නයෙන් ද  හතරක් අර්ධ වශයෙන් ද විනාශ වී තිබේ. පෙර පාසල සහ දිවා සුරැකුම්  මධ්‍යස්ථානයට සිදු වූ විනාශය ගැන සොයා බැලීමට මෙතෙක් කිසිදු  රජයේ ආයතනයකින් නොපැමිනි බව එහි ප්‍රධාන ගුරුවරිය වන ඉන්ද්‍රානි පැවසුවා ය. 

විනාශයට පත් ව ඇති ගන්නොරුවේ ෆ්ලෝරා පෙර පාසල

“මම මේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙරපාසල පටන් ගන්න කොට ගං ඉවුර මේ තරම් ලඟට ඇවිල්ල  තිබුනේ නැහැ. මීටර් 150 පමන දුරින් තිබුනේ. ඒ නිසා ලමයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් තිබුනේ නැහැ.  මෙතන දරුවන්ට හරිම නිස්කලංක තැනක්. මානසිකවත් සහනයක් දැනෙන තැනක්. මගේ ලඟ තරුන ලමයි හය දෙනක් වැඩ කරනවා”. 

“මේක යථා තත්වයට ගෙනාවේ නැත්නම්, මගෙත්, ඒ අයගෙත් රැකියාව නැති වෙනවා. මම සමාජ ආයතන කිහිපයකට ම කතා කලා. අද වෙනකම් කවුරුවත් ආවේ නැහැ. මේ ආන්ඩු වලින් අපේ ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. ඒ අය බලන්නේ පොහොසතුන් ගැන විතරයි. පොඩි මිනහ ගැන බලන්නේ නැහැ. හැබැයි පොඩි මිනහගේ පුංචි ප්‍රශ්නයක්  ඇතිවුනොත් ඒ අයව ඉන්න තැනින් ඇදල එලියට දාන්න නම් ඒ ගොල්ලෝ හරි සමත්තු.”

“ලඟ දී ඡන්ද වැඩට ගිහිල්ල, මෙහි රැකවරනය ලබන දරුවෙකුගෙ අම්ම මැරුන. එයාගේ දරුවා අත  දරුවෙක්. තාත්තට ඒ වෙනුවෙන් ලැබෙන්න ඕන කිසිදෙයක් මේ වෙනකම්  ලැබුනෙත් නැහැ. ස්ථිර රක්ෂාවකුත්  නැහැ. අවුරුදු 16 ක් වත් වෙනකම් ඒ ලමයව මම බලා ගන්න ඕන. නමුත් කොහොම ද කරන්නේ කියන එක ලොකු ප්‍රශනයක්.”

ආසන්නයේ තිබෙන පශු වෛද්‍ය ඒකකයේ පරිහරනය නොකරන ගොඩනැගිල්ලක් ඇති බවත් ටික කාලයකට හෝ එය ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලන බවත් ඇය පැවසුවා ය.   

“කෝවිඩ් වසංගතය  නිසා මට කලින් පෙර පාසල තිබුන තැන නැති වුනා. ඊට පස්සේ මෙතෙන්ට ආවේ. මෙතනත් නැති වුනොත් මට යන එන මං නැති වෙනවා” යැයි ඉන්ද්‍රානි පැවසුවා ය. 

දෙහිඅත්තකන්ඩියේ පිහිටි, අරන්හෙලගම, සල්පිටිගම, වෑබඩගම සහ පේරුපිටිය යන ගම්මානයන් හි නිවාස 30කට වැඩි ප්‍රමානයක් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් සම්පූර්නයෙන්ම විනාශ වී ඇති බව එම ප්‍රදේශ ආසන්නයේ ජීවත් වන ගුරුවරියක් ලෝසවෙඅ වෙත ප්‍රකාශ කලා ය.

මහ ජල ගැල්මට අසු ව ගසා ගෙන ආ ඇඳ රාමුවක් විදුලි රැහැන්වල රැඳී ඇති ආකාරය

තම දෙටු දියනියගේ නිවසේ අඩි තුන හතරක් ගැඹුරට ජලය පිරී තිබුනු බවත්, එම දිනයේ ඔවුන් නිවසේ නොසිටි බැවින් ජීවිත හානියක් නොවූ බවත් ඇය සඳහන් කලා ය. නිවසේ තිබුනු බඩුබාහිරාදිය මුලුමනින්ම පාහේ  විනාශ වී ඇති අතර, නිවසේ ගබඩාකර තිබූ වී මලු  සියල්ල ම තෙතබරිත වී ඇත.  

නිවාස පිරිසිදු කර ගැනීමට රුපියල් 25,000 ක් දෙන බව ආන්ඩුව ප්‍රකාශ කල ද, එය මෙතෙක් සිදු වී නොමැති බව සඳහන් කල ඇය, විදුලි උපකරන, රෙදි පිලි, ගෘහ භාන්ඩ සියල්ලක්ම විනාශ වී ඇති නමුත්, එයට වන්දියක් ලැබේ යැයි විශ්වාස නොකරන බව පැවසුවා ය.

Loading