දිට්වා සුලි කුනාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ දැවැන්ත මානුෂීය අර්බුදයක් වැඩෙමින් පවතී

[මෙය Massive humanitarian crisis looming in the wake of Ditwah cyclone disaster in Sri Lanka මැයෙන් 2025 දෙසැම්බර් 3 වැනි දා පලකල ලිපියේ පරිවර්තනයයි.]

දිට්වා සුලි කුනාටුවෙන් දින පහකට පසුවත්,  2025 දෙසැම්බර් 2දා වන විටත් ජලයෙන් යට වී පවතින කොලඹ -අවිස්සාවේල්ල මාර්ගය වැල්ලම්පිටියේ දී

දැන් ඉන්දියාව දෙසට හැරී ඇති දිට්වා සුලි කුනාටුවෙන් පසු, ශ්‍රී ලංකාව වේගයෙන් නරක අතට හැරෙන මානුෂීය ව්‍යසනයක ග්‍රහනයට නතු වී ඇත. නිල මරන සංඛ්‍යාව 410 ඉක්මවා ඇති අතර, 330 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. නාය ගිය පස් කඳු යටින් දිනෙන් දින එලියට ඇද ගන්නා මල සිරුරු ගොඩවල්වලින්  පෙනී යන්නේ දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ බලාපොරොත්තු සුන් වෙමින් පවතින බවත්, සමස්ත මරන සංඛ්‍යාව බියකරු ලෙස 1000 ඉක්මවා යා හැකි බවත් ය.

ආපදා කලමනාකරන මධ්‍යස්ථානයට (ආකම) අනුව, අඟහරුවාදා උදෑසන (පෙ.ව. 10) වන විට, පවුල් 407,594 කට අයත් පුද්ගලයින් 1,466,615ක් පීඩාවට පත් ව ඇත. අවතැන් වූ පවුල් 64,483 කට අයත් පුද්ගලයින් 233,015ක් පමන දැනට තාවකාලික ආරක්ෂක මධ්‍යස්ථාන 1,441ක නවාතැන් ගෙන සිටිති. නිවාස 565ක් සම්පූර්නයෙන් ම විනාශ වී ඇති අතර 20,271ක් අර්ධ වශයෙන් හානි වී ඇති බව ද ආකම වාර්තා කරයි. නිල වසයෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවක් නිකුත් කර නොමැති වුව ද, ඇස්තමේන්තු වලට අනුව තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගනනක් විය හැකි ය.

ලමෝ සහ ස්ත්‍රීහු වඩාත්ම පීඩාවට පත් වූවන් අතර  වෙති. දිට්වා ආපදාවෙන් පීඩාවට පත් වූ මිලියන 1.4 ක ජනතාව අතර ලමුන් 275,000 කට වැඩි පිරිසක් සිටින බව යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කලේ ය. රෝග පැතිරීම, මන්දපෝෂනය, අනාරක්ෂිත ජීවන තත්වයන් සහ ලමුන් අතර දැඩි ආතතියක් ඇති වීමේ අවදානම තියුනු ලෙස ඉහල යන බවට ද එය අනතුරු ඇඟවී ය.

නිල වශයෙන් වාර්තා වී ඇති මරන සහ අතුරුදහන් වූවන්ගෙන් වැඩි ප්‍රමානයක් වාර්තා වෙන්නේ සුලිකුනාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කවලින් - මහනුවර (මරන 88), නුවරඑලිය (75) සහ ඌව පලාතේ බදුල්ල (83) - වන අතර, මෙම ප්‍රදේශවල වැඩිමනක් තේ වතු කම්කරුවන් ජීවත් වන්නේ යටත්විජිත කාලය දක්වා දිවෙන අතිශය දුක්ඛිත  ලයින් කාමරවල ය.

2004 සුනාමිය සිහිගන්වන හද කම්පා කරවන දර්ශන දැන් ශ්‍රී ලංකාව පුරා දිග හැරෙමින් තිබේ. දිවි ගලවා ගත් අය කලින් යා ගත නොහැකි වූ ප්‍රදේශවලට සෙමින්  ප්‍රවේශ වීමට පටන් ගෙන තිබෙන තත්වයක් යටතේ, ගංවතුර සහ නායයෑම්වලින් විනාශ වූ ප්‍රදේශවලින් ශෝචනීය වාර්තා අනවරත ව මතු වෙමින් පවතී. 

සුන්බුන් අතර සිර වූ මල සිරුරු දුසිම් ගනනක් එලියට ඇද ගනිමින් පවතී. ප්‍රධාන රෝහල් කිහිපයක්  මියගිය අයගේ ඥාතීන්ගෙන් අප්‍රසිද්ධියේ ඉල්ලා ඇත්තේ මෘත ශරීරාගාර පිරී ඇති නිසාත්, මෘතශරීර බහාලන අධිශීතකරන පහසුකම්වල හා කාර්ය මන්ඩලයේ ඌනතාව හේතුවෙන් මල සිරුරු රෝහලට ගෙන ඒම නවත්වන ලෙසයි. සමහර මලසිරුරු කුනු වී හඳුනාගත නොහැකි තත්වයට පත් ව තිබෙන අතර, ඒවා සුන්බුන්වලින් එලියට ඇදගන්නා විට හිස් හෝ ඇඟිලි වැනි ශරීර කොටස් කඩා වැටෙන අවස්ථාවන් වාර්තා වෙමින් තිබේ.

මෙම දරුනු තත්වයන් මධ්‍යයේ, බොහෝ විට සමූහ මිනී වලවල්වල සහ වෛද්‍ය පරීක්ෂන නොමැතිව වින්දිතයින් වහාම භූමදාන කිරීමට ප්‍රජාවන්ට බල කෙරී ඇති අතර, ආපදාවන්ට ගොදුරු වූ  පවුල් අතර කෝපය හා කලකිරීම වැඩෙමින් පවතී.

මල සිරුරු තවමත් සොයා ගනිමින් පවතින අතර බොහෝ ප්‍රදේශවලට ප්‍රවේශ වීම අවහිර කර ඇති බැවින්, සැබෑ මරන සංඛ්‍යාව තවමත් හරි හැටි කිව නොහැක. ඛේදවාචකයේ පරිමානය අවසන් වසයෙන් තීරනය කිරීමට ඇති එක ම මාර්ගය, කුනාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල පෙර හා අලුත්ම ජනගහන වාර්තා සැසඳීම විය හැකි ය. බුල්ඩෝසර් සහ බර යන්ත්‍රෝපකරනවල දැඩි හිඟයක් හේතුවෙන් පදිංචිකරුවන් සවල්,උදලු සහ නිරුවත් දෑත් භාවිතා කරමින් සුන්බුන් හාරමින් සිටින ආකාරය, රූපවාහිනී දසුන් සහ සමාජ මාධ්‍යවලවල පලවන වීඩියෝවලින් පෙන්නුම් කෙරෙයි.

සමහර ප්‍රදේශවල ගංවතුර බැස යමින් තිබුන ද මධ්‍යම පලාතේ ප්‍රධාන මාර්ග සිය ගනනක් සහ දුම්රිය ජාලයෙන් වැඩි ප්‍රමානයක් ජලයෙන් යට වී හෝ දැඩි ලෙස හානි වී ඇති බැවින්, ප්‍රවාහනය ඇනහිට ඇති අතර, මෙය ගලවා ගැනීමේ කටයුතුවලට දැඩි ලෙස බාධාකර ඇත. ද්විතියික හා අතුරු මාර්ග කඩා වැටී, සෝදා පාලුවට ගොස් හෝ ජලයෙන් හා මඩ නාය යෑම්වලින් අවහිර වී ඇති බැවින් බොහෝ ගම්මාන අවට නගරවලින් කපා දමා  ඇත.

දිට්වා සුලි කුනාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ කොලඹ වැල්ලම්පිටියේ සන්නද්ධ වාහනයකින් 2025 දෙසැම්බර් 2දා හමුදා මුර සංචාරයේ යෙදෙමින්

ඊට අමතරව, බොහෝ කලාපවල විදුලිය හා සංනිවේදන ජාලා ඇනහිටීම් දිගට ම පවතින අතර, තාමත් දිවි ගලවා ගෙන බේරී සිටින අයට බාහිරින් උදව් ඉල්ලා සිටීම මෙයින් වැලකී තිබේ. ආහාර, පානීය ජලය සහ ගලවා ගැනීම් කන්ඩායම් සඳහා අනවතරතව  කරන ලද ආයාචනා මගින් පෙන්නුම් කරන්නේ, එවැනි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවට ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජේවීපී/ජාජබ) ආන්ඩුව පුනපුනා සථප කරත්, සංකේන්ද්‍රිත හා ක්‍රමවත් සම්බන්ධීකරන සහන සේවා වැඩසටහනක් ඇත්ත වසයෙන්ම ක්‍රියාවට දමා නැති බවයි. 

කැලනි ගඟ පිටාර ගැලීමෙන් දැඩි ලෙස පීඩාවට පත් කොලඹ දිස්ත්‍රික්කයේ, ආන්ඩුව විසින් නිවැසියන් කල්තියා ඉවත් කිරීමට අපොහොසත් වීමෙන් අනතුරුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් - වැඩි වශයෙන් කම්කරුවන් සහ පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන නාගරික දුප්පතුන් - අවතැන් වී ඇත. ප්‍රදේශයෙන් සියයට 70 ක් පමන මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටා ඇති කොලොන්නාව, දරුනුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර වන අතර, 175,000 කට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වීමට බල කෙරුනි.

ආන්ඩුවේ ඇමතිවරුන්, පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස උපදෙස් දුන් බව අවධාරනය කල ද, ප්‍රදේශයේ බොහෝ දෙනෙක් පවසන්නේ, ඔවුන් එලෙස ඉවත් වූ අවස්ථාවල නිවාස හෝ දේපල ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. වත්මන් ජවිපෙ/ජාජබ  ආන්ඩුව ඇතුලු අනුප්‍රාප්තික පාලන තන්ත්‍ර,  දිගු කලක් තිස්සේ පොරොන්දු වූ ගංවතුර වැලැක්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නැවත නැවතත් අපොහොසත් වී ඇත. ධනවත් සංවර්ධකයින් සහ ආයෝජකයින් විසින් සොයන, වානිජමය වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති ඔවුන් පදිංචිව සිටින ඉඩම් වලින් කම්කරු පන්ති ප්‍රජාවන්ට ඉවත්ව යාමට බලකෙරෙන ආකාරයෙන්, බලධාරීන් ප්‍රදේශය නොසලකා හැර ඇති බවට පදිංචිකරුවෝ චෝදනා කරති.

ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ව්‍යසනය සිදු වූ විට ඇඳ සිටි ඇඳුම් හැර, අන් සියල්ල අහිමි වී තිබේ. වසර ගනනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී මිලදී ගත් ගෘහ භාන්ඩ සහ උපකරන එක්කෝ ගසා ගෙන ගොස් ඇත, නැතිනම් ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත. ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පොලව බුරුල් ව ගොස්, මුලුමනින් ම විනාශ නොවූ නිවාසවල තත්වය පවා දැඩි අවධානමට ලක් ව ඇත්තේ, ඒවායේ අත්තිවාරමේ ශක්තිමත්භාවය නැතිව යාමෙන් හා බිත්ති දුර්වල වීමෙනි.

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර දහස් ගනනක් ජලයෙන් යට වී ඇති අතර, ඒවායේ භාන්ඩ  සහ තොග විනාශ වී ඇත. මෙයින් බොහෝ දෙනෙකුට, නැවත ගොඩනැගීමට- එය කෙසේ හෝ සිදුකල හැකිනම්- වසර ගනනාවක් ගත විය හැකි ය. ප්‍රමානවත් මූල්‍ය ආධාර නොමැතිව, බොහෝ දෙනෙක් බංකොලොත්භාවයට මුහුන දී සිටිති.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යොදවා ඇති 25,000 ක භට පිරිස් හැරුනු විට, විධිමත් ගලවා ගැනීමේ කන්ඩායම් කියා කිසිවෙක් භූමියේ නැත. විපතට පත්වූවන්ට ආධාර සපයන්නන් වී ඇත්තේ ආපදාවෙන් අහම්බෙන් මෙන් දිවි ගලවා ගත් ගම්වැසියන්, කම්කරුවන් සහ සාමාන්‍ය පුරවැසියන් ම ය.  සිය ආදරනීයයන් අහිමි වීම ගැන ශොවින් මිරිකෙන අතර ම, ඔවුහු තමන්ට හැකි උපරිම ආකාරයෙන් ආහාර, ඇඳුම් පැලඳුම්, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරිති. අවතැන් වූ පවුල්වලට සිදුව ඇත්තේ එක්කෝ තනිවම, නැතිනම් අසල්වැසියන්ගේ සහාය ඇතිව නිවාස පිරිසිදු කර අලුත්වැඩියා කරගැනීමට ය.

ව්‍යසනයේ සම්පූර්න ආර්ථික හානිය තවමත්  ගනන් බලා නැත. “ආන්ඩුව විවිධ අංශවලට සිදු වූ හානිය සහ ප්‍රතිසංස්කරනය සඳහා වන මූල්‍ය අවශ්‍යතා පිලිබඳ සවිස්තරාත්මක තක්සේරුවක් සකස් කිරීම සඳහා ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ” යැයි ජනාධිපති දිසානායක ප්‍රකාශ කර තිබෙන බව අඟහරුවාදා, ඩේලි මිරර් පුවත්පත ලීවේ ය. පාලම්, දුම්රිය මාර්ග, මහාමාර්ග, ජල පවිත්‍රාගාර සහ කර්මාන්ත වැනි යටිතල පහසුකම්වලට සිදුව ඇති විනාශයේ පරිමාව සැලකිල්ලට ගත් විට, අවසාන බිල රුපියල් බිලියන සිය ගනනක් දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉරිදා රාත්‍රියේ රූපවාහිනියෙන් ජාතිය ඇමතූ දිසානායක ඇඟවුම් කලේ, යථා තත්ත්වයට පත්වීමේ පිරිවැය, දැනටමත් අයිඑම්එෆ් විසින් පනවන ලද රුදුරු කප්පාදු යටතේ පීඩා විඳින ජනතාව විසින් දරනු ඇති බවයි. හදිසි තත්වය පැනවීම නරුම ලෙස ආරක්ෂා කරමින් දිසානායක කියා සිටියේ, “අපේ රට අන් කවරදාටත් වඩා හොඳින් නැවත ගොඩනැගීම සඳහා...නීතිමය ආරක්ෂාව සහ මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට” එය අවශ්‍ය බවයි. හදිසි බලතල මර්දනකාරී ලෙස භාවිතා නොකරන බවට ඔහු පොරොන්දු වුව ද, රට “නැවත ගොඩනැගීමේ” මුවාවෙන් ගැඹුරු කප්පාදු ක්‍රියාවට දැමීම සඳහා ආන්ඩුව මෙම පියවරයන් නිසැකව ම භාවිතා කරනු ඇත.

සඳුදා, දිසානායකගේ කැබිනට් මන්ඩලය, ප්‍රතිසංස්කරන කටයුතු අධීක්ෂනය කිරීමේ වගකීම දරන, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ව්‍යවස්ථාපිත ආයතනයක් වන, “ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ” අරමුදල පිහිටුවීමට අනුමැතිය දුන්නේ ය.

විශේෂයෙන්, අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා නියම කිරීම, සම්පත් වෙන් කිරීම සහ අරමුදල් බෙදා හැරීම සිදු කරන එහි කලමනාකරන කමිටුව, ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් ආධිපත්‍යය දරනු ලැබේ. ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ලෙස කටයුතු කරන (ලංකා වානිජ මන්ඩලයේ හිටපු සභාපති) දුමින්ද හුලංගමුව; (හේලීස් සමූහයේ සභාපති) මොහාන් පන්ඩිතගේ; සහ (ජෝන් කීල්ස් හි සභාපති) ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය මේ අතර වෙති. සියල්ලෝ ම අයිඑම්එෆ් න්‍යාය පත්‍රයේ දැඩි ආධාරකරුවන් වන අතර, “යලිගොඩනැගීමට” ලැබෙනු ඇති අරමුදල්, සුලි කුනාටුවෙන් විනාශ වූ මිලියන සංඛ්‍යාත ජනතාවට සහන සැලසීමට යොදවනවා වෙනුවට, නය ආපසු ගෙවීමට යෙදවීමෙහිලා ප්‍රමුඛත්වය දෙන බව මොවුහු සහතික කරති.

කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හැරිය ජවිපෙ/ජාජබ ආන්ඩුවට පමනක් නොව, තමන්ගෙන් ගිලිහී ගොස් තිබෙන මහජන සහයෝගය යලි පුම්බා ගැනීම සඳහා ඛේදවාචකය ගසාකෑමට උත්සාහ කරන විරුද්ධ පක්ෂවලට ද මෙම ව්‍යසනය දැනටමත් දේශපාලන අර්බුදයක් නිර්මානය කර තිබේ.

සඳුදා, විපක්ෂ සමගි ජන බලවේගය (සජබ) සහ අනෙකුත් පක්ෂ මන්ත්‍රීවරු ආපදා තත්වය ගැන විවාදය ආන්ඩු පක්ෂය විසින් අවහිර කල බවට චෝදනා කරමින්  පාර්ලිමේන්තුවෙන් පිටව ගියහ. පාලානාධිකාරිය පූර්ව කාලගුන අනාවැකි මත ක්‍රියා කිරීමට අපොහොසත් වූ බව ඔවුහු පැවසූහ. මෙය සත්‍යයක් වුවද, විරුද්ධ පක්ෂ කිසිවක් බලයේ සිටියේ නම්,  මෙයට වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාසදායක ලෙස ප්‍රකාශ කල නොහැක. මෙවන් දේශගුනික විපර්යාසයන්හිදී, එකල මෙම පක්ෂ විසින් නායකත්වය දුන්  ආන්ඩු පෙන්නුම් කල අසමත්කම දසලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට පැහැදිලිව මතක තිබේ.

පූර්ව විපත්වලින් සියල්ල අහිමි වූ බොහෝ දෙනෙකුට අදටත් හරි හැටි ගෙයක් දොරක් ඇත්තේ නැත. දශක ගනනාවක් තිස්සේ, අනුප්‍රාප්තික ආන්ඩු දේශගුනික විපර්යාසවල තර්ජනය නොසලකා හැර, නැවත නැවතත් පූර්ව අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර, වඩාත්ම අවදානමට ලක්විය හැකි ජනයා අත්හැර දමා ඇත. මෙම ව්‍යසනය දිග හැරෙන්නේ, 2022 ආර්ථික බිඳ වැටීමෙන් සහ එහි ප්‍රතිවිපාකවලින් තවමත් පීඩා විඳින කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව මත දැනටමත් දැවැන්ත බරක් පැට වී ඇති තත්වයක් තුල ය.

මෑත කාලීන ලෝක බැංකු වාර්තාවකට අනුව, 2019 සිට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව, සියයට 11.3 සිට සියයට 24.5 දක්වා ඉහල ගොස්, දෙගුනයකටත් වඩා වැඩි වී ඇත. දසලක්ෂ සංඛ්‍යාත කම්කරු පන්තික පවුල් සඳහා මූලික අවශ්‍යතා දැරිය නොහැකි මට්ටමකට පත් ව ඇත. දිට්වා සුලි කුනාටුවෙන් පසු, එලවලු මිල දැනටමත් විශාල ලෙස ඉහල ගොස් ඇති අතර, අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල ද ඉදිරියේ දී වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනමටත් අන්ත අසරන තත්වයට පත්ව සිටි දුප්පතුන් හා පීඩිතයන්  එමඟින් තව තවත් ගැඹුරින් දුප්පත්භාවයටත් මන්දපෝෂනයටත් තල්ලු වේ.

අග්නිදිග ආසියාව පුරා දැනටමත් පුද්ගලයින් 1,000 ක් පමන මරනයට පත් කල පුලුල් කුනාටු පද්ධතියක කොටසක් වන දිට්වා සුලි කුනාටුවේ විනාශකාරී හානිය, දේශගුනික ව්‍යසනයේ පන්ති ස්වභාවය හෙලිදරව් කරයි. ශ්‍රී ලංකාවේ, පූර්ව අනතුරු ඇඟවීම් නොමැතිකම, ජරපත්වන යටිතල පහසුකම් සහ අයිඑම්එෆ් නියෝගවලට ජවිපෙ/ජාජබ ආන්ඩුව යටත් වීම යනාදී කරුනු, ස්වභාවික සිදුවීමක් මහා සමාජ ව්‍යසනයක් බවට පත් කලේ ය.

ගෝලීය තලයේ දී, කොප්30 (COP30) දේශගුනික සමුලුවට ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව සහභාගී නොවීම සහ සමුලුවේ හිස් පොරොන්දු මාලාව මගින්  සනාථ වන්නේ, ධනේශ්වර ආන්ඩු සහ සංගත පොසිල ඉන්ධන භාවිතය ක්‍රමයෙන් ඉවත් නොකරන බවත්, අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා අර්ථවත් ආරක්ෂාවක් සඳහා අරමුදල් සැපයීමට සූදානම් නැති බවත් ය. නිගමනය පැහැදිලිය: කම්කරු පන්තිය, ලාභය නොව මානව අවශ්‍යතා මත පදනම්ව සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානයක් සඳහා සටන් කිරීමට සංවිධානය නොවන්නේ නම්, දේශගුනය හේතුවෙන් ඇතිවන ව්‍යසනයන් දුප්පත්ම ජනයා මරා දැමීම දිගටම කර ගෙන යනු ඇත.


Loading