ශ්‍රී ලංකාවේ ජනාධිපති රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමේ සැලසුම් නිවේදනය කරයි

[මෙය Sri Lankan president announces plans to close 34 state institutions මැයෙන් 2026 ඔක්තෝබර් 26 වෙනි දා ඉංග්‍රීසී බසින් පල විය.]

රජයේ මිනින්දෝරු සංගමයේ 100 වැනි වාර්ෂික සමුලුව අමතන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක. [ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය] [Photo: President’s Media Division]

පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 23) බත්තරමුල්ලේ පැවති රජයේ මිනින්දෝරු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජ්‍ය වියදම් කපා හැරීම සඳහා තම ආන්ඩුව රාජ්‍ය ආයතන 34ක් වසා දමන බව නිවේදනය කලේ ය. මෙම වසා දැමීම් සහ ඒකාබද්ධ කිරීම් අධීක්ෂනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, කාර්යක්ෂමතාව ඉහල නැංවීමට සහ “අනවශ්‍ය වියදම්” ඉවත් කිරීමට මෙම පියවර අවශ්‍ය බවත් ඔහු පැවසී ය.

මෙම නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරනු ලබන නිර්දය කප්පාදු පියවර තවදුරටත් තීව්‍ර කිරීමට යන බවයි.

මුදල් අමාත්‍යවරයා ද වන දිසානායක, ආයතන වසා දැමීමේ සැලසුම් අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බව පැවසුව ද, වසා දැමීමට නියමිත ආයතන 34 නම් කලේ නැත. එමගින් බලපෑමට ලක්වන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමනද යන්න ද ඔහු සඳහන් කලේ නැත. රාජ්‍ය වියදම් කපා හැරීමත් රාජ්‍ය ආයතන “කාර්යක්ෂම ව පවත්වා ගෙන යාම” සහතික කිරීමත් අවශ්‍ය බව පමනක් ඔහු පැවසී ය.

වසා දැමීම් සාධාරනීකරනය කිරීම සඳහා දිසානායක, වෘත්තිකයන් රඳවා තබා ගැනීමේ දුෂ්කරතා සහ පරිපාලන පද්ධතියේ පහල මට්ටම්වල “දේශපාලන පත්වීම්” සංකේන්ද්‍රනය වීම ඇතුලු “රාජ්‍ය සේවයේ දුර්වලතා” සමඟ යෝජිත වෙනස්කම් සම්බන්ධ කලේ ය. “ශක්තිමත් රාජ්‍ය පරිපාලන පද්ධතියක්” සහ තම වගකීම් ඉටු කල හැකි “ඵලදායී රාජ්‍ය අංශයක්” පිලිබඳ ව ආන්ඩුව විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කලේ ය.

රාජ්‍ය ආයතන වසා දැමීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම, 2027 වසරේ දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් යලි ඇති කරන ලෙස ජාමූඅ ඉදිරිපත් කරන ඉල්ලීමට අනුකූල වේ. අයවැය රාමුව තීරනය කරනු ලබන්නේ ජාමූඅ විසිනි. එයට ආදායම් ඉහල නැංවීම, බලශක්තිය සඳහා “පිරිවැය ආවරනය කරන” මිල ගනන් නියම කිරීම, විනිමය අනුපාතයේ නම්‍යශීලීභාවය සහ රාජ්‍ය ව්‍යවසායන් අඛන්ඩ ව පුද්ගලීකරනය කිරීම හෝ වානිජකරනය කිරීම ඇතුලත් වේ.

ඩොලර් බිලියන 3ක ජාමූඅ ඇප නයෙහි හත්වැනි වාරිකය වන ඩොලර් මිලියන 345ක මුදල, ඔක්තෝබර් 5 වැනිදා ජාමූඅ විධායක මන්ඩලය විසින් අනුමත කරන ලද්දේ එහි දැඩි කොන්දේසි සපුරාලීමෙන් පසු ව ය. ජාමූඅ වැඩපිලිවෙලට අනුකූල 2027 අයවැයක් ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික හා නය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ සමාලෝචනයක් සම්පූර්න කිරීම එම කොන්දේසිවලට ඇතුලත් විය. ජාමූඅ සිය කාර්ය මන්ඩල මට්ටමේ එකඟතාව ප්‍රකාශයට පත් කල දිනට පසු දින, නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, 2027 අයවැය ජාමූඅ අවශ්‍යතාවලට අනුකූල වන බව තහවුරු කලේ ය.

2022 වසරේ රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු ව, ශ්‍රී ලංකාව විදේශ නය ගෙවීම පැහැර හැරීමට බල කෙරුනු තත්ත්වයක් තුල, 2023 වසරේ දී ජාමූඅ ඇප දීමේ නය අනුමත කරන ලදී. එම නයට අදාල කොන්දේසිවලට රාජ්‍ය වියදම් කප්පාදු කිරීම, බදු ඉහල දැමීම, සහනාධාර දැඩි ලෙස කපා හැරීම සහ රාජ්‍ය ව්‍යවසායන් (SOE) වසා දැමීම හෝ ඒවා වානිජකරනය කිරීම හෝ පුද්ගලීකරනය කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලත් විය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව රාජ්‍ය ව්‍යවසායන් 430ක් පමන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නම් කර තිබූ අතර, ඒවායින් සමහරක් දැනට ම ත් වසා දමා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයක් වන ලංකා විදුලිබල මන්ඩලය (CEB), දිසානායක ආන්ඩුව විසින් මෙම වසරේ දී සමාගම් හයකට බෙදා වෙන් කරන ලද අතර, එහි දී රැකියා 2,000ක් පමන විනාශ කරන ලදී.

පසුගිය සිකුරාදා පැවති සිය කතාවේ දී දිසානායක, රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කල නොහැකි බව අවධාරනය කලේ ය. 2025 අයවැය කතාවේ දී යෝජනා කල, උද්ධමන අනුපාතයටත් වඩා අඩු රාජ්‍ය සේවකයන්ගේ මාසික අවම මූලික වැටුප් වැඩිවීම ගැන ඔහු සඳහන් කල නමුත්, 2028 අයවැය යටතේ මූලික වැටුප් තව දුරටත් වැඩි කිරීමට සැලසුමක් නොමැති බව තහවුරු කලේ ය.

ලංකා වානිජ මන්ඩලය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුලුව 2026 සමාරම්භක උත්සවයේ දී, ඔක්තෝබර් 12 වැනි දා අදහස් දැක්වූ දිසානායක, ආන්ඩුව ජාමූඅ සමඟ පවත්වාගෙන යන සහයෝගීතාව ආරක්ෂා කලේ ය. ජාමූඅ කප්පාදු ඉල්ලීම්වල විනාශකාරී සමාජ බලපෑම් නොතකා, ආන්ඩුවේ අරමුනු සහ ජාමූඅ අරමුනු අතර “සාපේක්ෂ වශයෙන් සුලු පරස්පරතා” පැවති බව ඔහු ප්‍රකාශ කලේ ය. “මෙ මගින් විශාල මතභේදවලින් තොර ව ක්‍රියාත්මක කිරීම අඛන්ඩ ව පවත්වා ගෙන යාමට හැකි වී තිබේ” යැයි ඔහු අවධාරනය කලේ ය.

ව්‍යාපාරික නායකයන් ඉදිරිපත් කල ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් දිසානායක, වැදගත් රාජ්‍ය සේවාවන් පෞද්ගලික ලාභ ඉපැයීම සඳහා විවෘත කරන බවත්, ආයෝජකයන්ගේ අවශ්‍යතා සහතික කිරීම සඳහා නීතිමය රාමුවක් සකස් කරන බවත් නැවත නැවතත් සහතික කලේ ය. ශ්‍රී ලංකාවට පැමිනෙන ආයෝජකයන්ට “විනිවිද පෙනෙන පාලනයක්”, නව නීති හා රෙගුලාසි සහ ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මානය කරන යටිතල පහසුකම් හිමි වන බව දිසානායක පොරොන්දු විය.

බලශක්ති ක්ෂේත්‍රය තුල, ප්‍රධාන විදුලි සම්ප්‍රේෂන මාර්ග ඉදිකිරීම සහ මෙහෙයුම් කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමට ආන්ඩුව සැලසුම් කරයි. මෙය සම්ප්‍රේෂන යටිතල පහසුකම් ඉදිකිරීමේ දී ලංකා විදුලිබල මන්ඩලය දිගු කලක් ඉටු කල කාර්යභාරය අවසන් කිරීමකි.

පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති පෞද්ගලික ටෙන්ඩර් සඳහා විවෘත කිරීමට ද ආන්ඩුව සූදානම් වෙමින් සිටී. දැනට ක්‍රියාත්මක සූර්ය බලශක්ති සමාගම්වලට ද සහභාගි විය හැකි මෙගාවොට් 150ක අතිරේක විදුලි ජනන ධාරිතාවක් ද ඊට ඇතුලත් වේ.

වරාය ක්ෂේත්‍රයේ දී, නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්නයෙන් ම රජයට තනි ව කලමනාකරනය කල නොහැකි බව දිසානායක ප්‍රකාශ කර ඇති අතර, රාජ්‍යයට විධිමත් ලෙස හිමිකාරිත්වය පවත්වා ගනිමින් පෞද්ගලික ආයෝජන සඳහා ඉඩ සැලසෙන සමාගමක් පිහිටුවීමට අදහස් කරයි.

මෙම පියවරවලින් පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ “ආයෝජන” න්‍යාය පත්‍රය යනු මහජන මුදලින් සංවර්ධනය කරන ලද යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා ධනවත් ආයෝජකයන්ගේ ලාභ උපයන මූලාශ්‍ර බවට පත් කිරීම බවයි. “ආයෝජන හා ව්‍යාපාරික සුරක්ෂිතභාවය” සැපයීම සඳහා නීති සම්පාදනය කරමින් පවතින අතර, ඒ සමඟම නාමික වශයෙන් පවතින කම්කරු ආරක්ෂන පවා දුර්වල කිරීමටත්, ප්‍රතිව්‍යුහගත කිරීමේ බර කම්කරුවන් මත පැටවීමටත් පියවර ගනිමින් තිබේ.

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමේ දිසානායකගේ නිවේදනයෙන් දින හතරක් ගත වී තිබේ. එමගින් කම්කරුවන් සිය ගනනකට හෝ දහස් ගනනකට රැකියා අහිමි වීමේ අවදානමක් පවතී. එහෙත් මෙම කුරිරු ප්‍රහාරයට විරෝධය දැක්වීමට එකදු වෘත්තීය සමිති නායකයෙක් හෝ ඉදිරිපත් වී නැත.

මෙය පුදුමයට කරුනක් නොවේ. 2024 මැතිවරනයට පෙර කම්කරු අරගල අවහිර කරමින්, බලයට පත් වූ පසු ජීවන තත්ත්වයන් වැඩිදියුනු කරන බවට ජවිපෙ/ජාජබ දුන් ව්‍යාජ පොරොන්දුව මත, තම සාමාජිකයන්ට එයට ඡන්දය දීමට දිරි ගන්වමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට ගෙන ඒමට වෘත්තීය සමිති සහාය දුන්හ. වෘත්තීය සමිති කිසි විටෙකත් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ වී නැති අතර, එය පිලිබඳ ව සාමාන්‍ය කම්කරුවන් අතර සාකච්ඡාවක් ඇති වීම ද අවහිර කර ඇත.

කම්කරුවන් අතර සතුරුභාවය සහ කෝපය මතු වූ විට, වෘත්තීය සමිති ඕනෑ ම කාර්මික ක්‍රියාමාර්ගයක් සීමා කර මර්දනය කර ඇත. 2025 මුල් භාගයේ දී දීමනා කප්පාදුවලට විරුද්ධ වූ සෞඛ්‍ය සේවකයන් 100,000ක් පමන අරගලයට පිවිසි විට, වෘත්තීය සමිති නායකයෝ සීමිත එක්දින වැඩවර්ජන පවත්වා, ඉන් පසු ව තව දුරටත් ක්‍රියාමාර්ග ගැනීම නතර කලහ. අත්‍යවශ්‍ය සේවා නීති නොතකා, ආන්ඩුවේ පියවරවලට එරෙහි ව තැපැල් සේවකයෝ සතියක වැඩවර්ජනයක නිරත වූහ. එහෙත් ආන්ඩුව හමුදාව සහ පොලිසිය යෙදවීමෙන් පසු වෘත්තීය සමිති නිලධරයෝ ඔවුන්ට යලි සේවයට වාර්තා කරන ලෙස නියෝග කලහ. ඔවුන්ගේ කිසිදු ඉල්ලීමක් ඉටු නොවී ය.

කම්කරුවන්ට තම රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා වෘත්තීය සමිති, ධනපති විපක්ෂයේ පක්ෂ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන මත විශ්වාසය තැබිය නොහැක. ඒ වෙනුවට කම්කරුවන් කටයුතු තමන්ගේ ම අතට ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනපති පක්ෂවලින් ස්වාධීන, සේවා ස්ථානවල, වතුකරයේ සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගනු ලබන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසයි. ආන්ඩුවේ කප්පාදු පියවරවලට එරෙහි ව සටන් කිරීමේ මාධ්‍යයන් ගොඩනැගීම සඳහා එම කමිටු අවශ්‍ය වේ.

සැලසුම් කර ඇති වසා දැමීම් ආපසු හැරවීම, සෑම රැකියාවක් ම ආරක්ෂා කිරීම, ජාමූඅ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කිරීම සහ විදේශ නය අවලංගු කිරීම සසප සටන් වදින ඉල්ලීම් අතර වේ. බැංකු සහ සමාගම් ජනසතු කිරීමෙන් අරමුදල් සපයා, රාජ්‍ය සේවා යලි ස්ථාපිත කර පුලුල් කල යුතු ය. ආන්ඩුවේ මර්දනකාරී ක්‍රමවේදයන්ට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු ය.

මෙම අරගලය ජාත්‍යන්තර අරගලයකි. දිසානායක මෙන් ම, ලොව පුරා ධනපති ආන්ඩු ද කප්පාදු සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර තීව්‍ර කර තිබේ. කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ගෝලීය අරගලයක කොටසක් ලෙස, ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය (IWA-RFC) හරහා තම ක්‍රියාකාරී කමිටු සම්බන්ධීකරනය කරමින් ලොව පුරා කම්කරුවන් සමඟ එක්වන ලෙස අපි ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading