ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් සටන් කල කේ.එස්. ගනේෂදේව් සහෝදරයා(1939–2026)

[මෙම ලිපිය මීට පෙර Comrade K.S. Ganeshadev (1939–2026): A fighter for Trotskyism මැයෙන් 2026 ජූලි 15 දින පලකෙරුනි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ජාත්‍යන්තර කමිටුව) ශ්‍රී ලංකාවේ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි පුර්වජයා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) දිගු කාලීන සාමාජිකයෙකු ව සිටි කේ.එස්. ගනේෂදේව් සහෝදරයා 2026 මාර්තු 22 වන දින 87 වැනි වියෙහි දී මිය ගියේ ය.

දියවැඩියාව ආශ්‍රිත දිගු කාලීන සෞඛ්‍ය සංකූලතා හේතුවෙන් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි හි රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඔහුගේ අභාවය සිදු විය. ඔහු අභාවයට පත්වූයේ, රෝසා, ලියොන් සහ කීර්ති නමින් දරුවන් තිදෙනෙකු සහ බාල සහෝදරයන් දෙදෙනෙකුගෙන් වියෝවෙමිනි.

ට්‍රොට්ස්කිවාදය සඳහා දශක ගනනාවක් පුරා ගනේෂදේව් සහෝදරයා ගෙන යන ලද ධෛර්ය සම්පන්න අරගලයට උපහාරය දක්වන සසප, ඔහුගේ දරුවන්ට සහ ඥාතීන්ට සිය ගැඹුරු ශෝකය පල කරයි.

කේ. එස්. ගනේෂදේව්

පක්ෂ සහෝදරවරුන් අතර ගනේෂ් යන මිතුරු නමකින් ප්‍රකට ව සිටි ඔහු 1970 දී විකොසට බැඳුනේය. ඉක්මනින් ම පක්ෂ පූර්න කාලීනයෙකු බවට පත් වූ ගනේෂ්  විකොස මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන කමිටුවට ද තේරී පත් විය. ඉන්දියානු උප මහද්වීපයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ අරගලයේ දී ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කල නමුත් දුෂ්කර සෞඛ්‍ය ගැටලු හේතුවෙන් දශක එක හමාරකට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලන කටයුතු අඛන්ඩ ව කර ගෙන යාමට ඔහුට නොහැකි විය.

ගනේෂ් 1939 මැයි 15 වන දින උපත ලැබූවේ තම පවුලේ අය එවක පදිංචි ව සිටි මැලේසියාවේ ක්වාලාලම්පුර් හි දී ය. ගනේෂ්ට වයස අවුරුදු 16 දී, ඔවුහු උතුරු ශ්‍රී ලංකාවේ අලවායි නම් තමන්ගේ උපන් ගමට ආපසු පැමිනියහ. අලවායි ගම යාපනය නගරයේ සිට කිලෝමීටර් 30 ක් පමන දුරින් පිහිටා ඇත. ඔහු තම උපන් ගම අසල නෙල්ලියඩි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් වී ඉංග්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂය ධාරාව හදාරා අධ්‍යාපන කටයුතු අවසන් කලේ ය.

ගනේෂ් ඇතුලු පවුලේ අය ශ්‍රී ලංකාවට නැවත පැමිනීමෙන් පසු ගත වූ දශකය ලංකාව තියුනු දේශපාලන කැලඹීම් වලින් ගහන වූ කාලයකි. කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනය වන ආනුභාවය ගැන බියට පත් ලංකාවේ පාලක ප්‍රභූව, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා නින්දිත දෙමල විරෝධී ස්වෝත්තමවාදී ව්‍යාපාර ඇවිලවීමට පටන් ගෙන සිටියේ ය. 1948  නිදහස ලැබීමෙන් මඳකට පසු ව, එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ (යුඇන්පී) ආන්ඩුව ඉන්දියානු සම්භවයක් ඇති දෙමල කතා කරන වතු කම්කරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරමින් මෙම ප්‍රකෝපකාරී ව්‍යාපාරය ආරම්භ කර තිබුනි.

1956 දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මහා මැතිවරනය ජයග්‍රහනය කලේ, දෙමල කතා කරන ජනයා දෙවන ගනයේ පුරවැසියන් බවට පත් කර, එමගින් දුෂ්ට  වාර්ගික බෙදීම් අවුලුවා ලීම සඳහා සිංහල භාෂාව රටේ එක ම රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිය මත පදනම් වූ උද්ඝෝෂනයකිනි. ශ්‍රීලනිපය උසිගැන්වූ  සිංහල ස්වෝත්තමවාදී උද්ඝෝෂනය වනාහි 1953 හර්තාලය මගින් පෙන්නුම් කෙරුනු පන්ති අරගලය තියුනු වීම් කෙරහි පාලක පන්ති කොටස් විසින් දක්වන ලද ප්‍රතිගාමී ප්‍රතික්‍රියාවකි. 

තමන් ට්‍රොට්ස්කිවාදී යැයි තවමත් ප්‍රකාශ කරමින් සිටි ලංකා සම සමාජ පක්ෂය (ලසසප), මෙම වාර්ගික භේදකාරී ප්‍රතිපත්තියට විරුද්ධ වෙමින්, සිංහල සහ දෙමල යන දෙක ම නිල භාෂා ලෙස පිලිගත යුතු යැයි ඉල්ලා සිටියේ ය. එය,1956 නිල භාෂා පනතට විරුද්ධ වූ අතර ම සිංහල වාර්ගික මැරයන්ගෙන් දෙමල ජනතාව ආරක්ෂා කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. ධනේශ්වර දෙමල පක්ෂ දෙමල ජාතිකවාදයේ සහ බෙදුම්වාදයේ දේශපාලනයට හැරීමට ද එය විරුද්ධ විය.

මෙම දේශපාලනික දූෂිත වාතාවරනය තුල ප්‍රධාන වශයෙන් දෙමල ජනතාව වෙසෙන උතුරේ දෙමල පක්ෂවල වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කල ගනේෂ් සම සමාජ පක්ෂයට තම සහාය පල කලේ ය. ඔහු ද්විතීයික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, 1958 දී පමන යාපනයේ සම සමාජ පක්ෂයේ තරුන සංවිධානයට සම්බන්ධ වූයේ ය.

ට්‍රොට්ස්කිවාදය වෙතට ඔහුගේ ආකර්ෂනය වුයේ හිස් අවකාශයක් තුල නොවේ. 1940 ගනන්වල මුල් භාගයේ සිට, ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ඉන්දියානු උප මහද්වීප ශාඛාව වූ ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බිඑල්පිඅයි), යාපනය අර්ධද්වීපය ඇතුලු රට පුරා සැලකිය යුතු බලපෑමක් දිනා ගෙන තිබුනි.

කෙසේ වෙතත්, පශ්චාත් දෙවන ලෝක යුද කාල පරිච්ඡේදයේ හතර වන ජාත්‍යන්තරය තුල මතු වූ පැබ්ලෝ සහ අර්නස්ට් මැන්ඩෙල් විසින් නායකත්වය දුන් අවස්ථාවාදී ප්‍රවනතාවයක බලපෑම යටතේ, පවතින මහජන කම්කරු පක්ෂවලට ඇතුලුවීමේ මුවාවෙන් බීඑල්පීඅයි අහෝසි කෙරුනි. ශ්‍රී ලංකාවේ බීඑල්පීඅයි 1950 දී ලසසප සමඟ ඒකාබද්ධ වූ අතර, ලසසපය පැබ්වාලෝදී  ජාත්‍යන්තරයට අනුබද්ධ වී, 1953 දී පිහිටුවන ලද ජාත්‍යන්තර කමිටුව විසින් සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා අරඹා තිබූ අරගලයට විරුද්ධ වූයේ ය.

ශ්‍රීලනිපයේ සිංහල පමනක් ප්‍රතිපත්තියට විරුද්ධ වූ නමුත් එහි සිංහල ජනතාවාදී දේශපාලනයට වඩ වඩාත් අනුගත වෙමින් සිටි ලසසපය, 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුවට එක් විය. මෙම ක්‍රියාව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වඩාත් මූලික මූලධර්ම වන සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ ධනේශ්වරයේ ඒජන්සිවලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අරගලයට එරෙහි ව සිදු කල ඓතිහාසික පාවා දීමකි. එමගින් ලසසපය, ඉල්ලීම් 21 ව්‍යාපාරයෙන් සලකුනු වූ කම්කරු පන්තියේ උද්ගමනය අවමංගත කර බන්ඩාරනායක ආන්ඩුවට පාලන බලයේ එල්ලී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ය.

පැබ්ලෝවාදී ජාත්‍යන්තරය ලසසපයේ දේශපාලන පරිහානිය ආවරනය කර, එමඟින් එයට ධනේශ්වර ආන්ඩුවකට රිංගා ගැනීමට මාවත විවර කර දුන්නේ ය. සමසමාජ පක්ෂයේ පාවා දීමට එරෙහි වූ තරුනයන් කන්ඩායමක්  ජාත්‍යන්තර කමිටුව වෙත හැරී එහි දේශපාලන මඟ පෙන්වීම යටතේ 1968 දී විකොස ආරම්භ කලේ මෙම තත්වය තුලයි.

ලසසප කම්කරු පන්තිය පාවා දීම වාර්ගික දේශපාලනය මත පදනම් වූ සුලු ධනේශ්වර ව්‍යාපාර මතු වීමට දොර විවර කලේ ය. මාඕවාදී-කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදය සහ සිංහල ජනතාවාදය අමු අමුවේ මිශ්‍රන කෙරුනු න්‍යායික පදනමක් මත ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) දිවයිනේ දකුනේ පෙරලිකාරී වෙමින් සිටි  සිංහල තරුනයින් අතර 1960 ගනන්වල මැද භාගයේ දී පිහිටුවනු ලැබුනි. උතුරේ, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) වැනි සන්නද්ධ දෙමල කන්ඩායම් බෙදුම්වාදය ප්‍රචාරය කරමින් මතු වී ආවේ ය.

ලසසප පාවා දීමට විරුද්ධ වූ ගනේෂ්, පාවා දීමට විරුද්ධ ආස්ථානයක් ගනිමින් ලසසපයෙන් වෙන් වූ නමුත් පැබ්ලෝවාදී ජාත්‍යන්තරය සමඟ සම්බන්ධතාවය දිගට ම පවත්වා ගෙන ගිය කන්ඩායමක් වූ ලසසප (වි) පක්ෂයට කෙටි කලක් සහාය දැක්වූයේ ය. 1970 දශකයේ මුල් භාගයේ කොලඹ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන ධාරාවේ සන් නමැති පුවත්පතක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස ද ඔහු කෙටි කලක් සේවය කලේ ය.

විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයකින් තොර වූ ලසසප (වි) වෘත්තීය සමිති සටන්කාමීත්වය ප්‍රවර්ධනය කරමින්, එක්සත් වාමාංශික පෙරමුන නමින් ස්ටැලින්වාදී සහ සිංහල-වර්ගවාදී මහජන එක්සත් පෙරමුන සමඟ ලසසප නායකත්වයෙන් පිහිටුවා තිබු සන්ධානය යලි ගොඩ දමා ගැනීමට තැත් කලේ ය. බොහෝ දෙනෙකු මෙන්, ලසසප (වි) හි මෙම අවස්ථාවාදී දේශපාලනය ගනේෂ් ද ඉක්මනින් ම පිලිකුලින් බැහැර කලේ ය. 

ලසසප පාවා දීමට එරෙහි ව පුලුල් ලෙස උද්ඝෝෂනය කරමින්, විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරමින් සිටි විකොස සහෝදරවරුන්ට ගනේෂ් මුන ගැසුනි. ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය ඇතුලු විකොස නායකයන් සමඟ කල සාකච්ඡාවලින් පසු ව, ලසසප පාවාදීමේ මූලයන් පැබ්ලෝවාදය තුල පවතින බව තේරුම් ගත් ඔහු විකොසට සම්බන්ධ විය.

ගනේෂ් ඉක්මනින්ම විකොස හි පූර්න කාලීන කාර්ය මන්ඩලයට සහ එහි ප්‍රමුඛ කමිටුවලට එක් වුයේය. කොලඹ, යාපනය සහ මධ්‍යම කඳුකර වතුකරයේ දෙමල ජනතාව අතර පක්ෂයේ දේශපාලන කටයුතු වර්ධනය කිරීමේ දී ඔහු තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය. ඔහු විකොස හි දෙමල භාෂා පුවත්පත වූ තොලිලාලර් සෙයිදි (කම්කරු පුවත්) සඳහා නිතිපතා ලිපි ලිවී ය.

1971 අප්‍රේල් මාසයේ දී, සභාග ආන්ඩුව ජවිපෙ අතිධාවනකාරී කැරැල්ල ම්ලේච්ඡ ලෙස තලා දමමින්, ගැමි තරුනයින් සහ ජවිපෙ සාමාජිකයින් දස දහස් ගනනක් ඝාතනය කර තවත් දහස් ගනනක් සිරගත කලේ ය. එම කුරිරු මර්දනයට විරුද්ධ වූ විකොසට එරෙහි ව ද ආන්ඩුවේ මර්දනය එල්ල විය. පක්ෂය නීති විරෝධී තත්වයකට  පත්කරමින් එහි පුවත්පත් තහනම් කරන ලදී. මෙම තතු තුල පක්ෂය රහසිගත ව පලකල ප්‍රකාශ මුද්‍රනයට හා බෙදා හැරීමට ගනේෂ් සම්බන්ධ ව සිටියේ ය.

1972 දී අලුත් නම් වලින් නීතිමය ප්‍රකාශනය නැවත ආරම්භ වූ විට, ගනේෂ් තොලිලාලර් පාදෛයි (කම්කරු මාවත) හි කර්තෘ මන්ඩලයේ සේවය කලේ ය. දෙමල බෙදුම්වාදී වාර්ගික දේශපාලනයට එරෙහි ව කම්කරුවන් එක්සත් කිරීමේ පක්ෂයේ ඉදිරිදර්ශනයට දෙමල කම්කරුවන් සහ තරුනයින් දිනා ගැනීමට ඔහු මූලිකත්වය ගත්තේ ය.

උතුරේ විකොස සාමජිකත්වයට මුලින් ම දිනාගත් සහෝදරයෙකු වූ එස්.කේ. චන්ද්‍රසේකරන්, මෙම ලිපියේ කතුවරයාට පැවසුවේ තමා කොමියුනිස්ට් පක්ෂය (පීකිං) වෙත අවධානය දී සිටි බවයි. කෙසේ වෙතත්, ගනේෂ් සමඟ කෙරුනු සාකච්ඡා මගින් ස්ටැලින්වාදයේ චීන ප්‍රභේදය වන මාඕවාදයේ ද්‍රෝහී භූමිකාව පිලිබඳව ඒත්තු ගැන්වූනු තතු තුල ඔහු ට්‍රොට්ස්කිවාදයට ආකර්ෂනය විය. චන්ද්‍රසේකරන් සහ තවත් අය විකොසෙ හි යාපනය ශාඛාව පිහිටුවීමට එක් වූහ.

කොලඹ රාජ්‍ය අංශයේ සේවකයෙකු ව සිටි එන්. පංචාචරන් පැවසුවේ, දෙවන ශ්‍රීලනිප සභාග ආන්ඩුව බුද්ධාගම රටේ රාජ්‍ය ආගම සහ සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කල වාර්ගික ව්‍යවස්ථාවක් පැනවීමෙන් පසු පුපුරා ගිය දෙමල ජාතිකවාදයේ රැල්ලට තමන් ද හසු ව සිටි බවයි. දෙමල කම්කරුවන් අතර උද්ඝෝෂනය කරමින්, වාර්ගික රේඛා ප්‍රතික්ෂේප කර එක්සත් වීමේ අවශ්‍යතාවය ඔවුන්ට ඒත්තු ගැන්වීමේ දී ගනේෂ් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ ය. එම අරගලයේ ප්‍රතිපලයක් ලෙස පංචාචරන් තවත් කිහිප දෙනෙක් සමග කොලඹ පක්ෂ ශාඛාවක් පිහිටුවීමට එක් විය.

දකුනු ආසියාවේ කම්කරු පන්තිය එක්සත් කිරීම අත්‍යවශ්‍යතාවය  වටහා ගෙන සිටි විකොස, ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා 1979 වසරේ ගනේෂ් එවකට මදුරාසිය ලෙස හැඳින්වූ චෙන්නායි වෙත යැවීමේ තීරනාත්මක පියවර ගත්තේ ය. දෙවන ලෝක යුද්ධය මධ්‍යයේ, ලංකාව ලෙස හැඳින්වූ දුපතේ ට්‍රොට්ස්කිවාදීන් ඉන්දියානු උප මහාද්වීපය පුරා බීඑල්පීඅයි පිහිටුවීමට මූලිකත්වය ගෙන තිබුනි. නමුත් 1940 ගනන්වල අග භාගයේ දී, මයිකල් පැබ්ලෝ විසින් දිරිමත් කරන ලද බීඑල්පීඅයි නායකයින් පක්ෂය ඉන්දියාවේ සුලු ධනේශ්වර කොන්ග්‍රස් සමාජවාදී පක්ෂය තුලට යවා තිබුනි.

ගනේෂ් සහ ප්‍රවීන සසප නායකයෙකු වූ නන්ද වික්‍රමසිංහ සම-කර්තෘත්වයෙන් යුත් ලිපියක එම දේශපාලන වර්ධනයන් පැහැදිලි කර තිබුනේ මෙලෙසයි: “බීඑල්පීඅයි විසුරුවා හැරීම දකුනු ආසියාවේ හතරවන ජාත්‍යන්තරයේ වර්ධනයට විනාශකාරී බලපෑමක් ඇති කලේ ය. එමගින්, ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යථා ලෙස දියකර හරින ලදී.”  මෙම පියවර හා 1964 දී ලසසපයේ පාවා දීම ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ, විශේෂයෙන් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) නොහොත් සීපීඑම් දේශපාලනික ව ශක්තිමත් කිරීමට බෙහෙවින් තුඩු දුන්නේ ය.

ගනේෂ්ට සිදු වූයේ ඉන්දියාවේ සිය දේශපාලන වැඩකටයුතු අ’යන්නේ පටන් ම ආරම්භ කිරීමටයි. මදුරාසියේ කම්කරු නිවහන් පෙදෙසක පදිංචි වූ ඔහු කම්කරුවන් සහ තරුනයින් සමග සම්බන්ධතා ඇති කර ගත් අතර ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයක අවශ්‍යතාවය සාකච්ඡා කලේ ය. ඔහු සිය දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ විකොස විසින් ප්‍රකාශයට පත් කරන ලද තොලිලාලර් පාදෛයි භාවිතා කල අතර ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ප්‍රකාශන ද ලබා ගත්තේ ය.

ඔහුගේ ප්‍රධාන දේශපාලන කර්තව්‍යයන්ගෙන් එකක් වූයේ ස්ටැලින්වාදී පක්ෂවල පන්ති-සහයෝගීතා ප්‍රතිපත්ති සහ ඉන්දියානු ජාතික කොංග්‍රසය ඇතුලු ධනේශ්වර පක්ෂ වලට ඔවුන් මුක්කුව ලබාදීමේ දුර්ප්‍රතිවිපාක පැහැදිලි කිරීමයි. ඉන්දියානු ස්ටැලින්වාදයේ මූලයන් පැවතුනේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවය සහ ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය පාවා දුන් සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ ප්‍රති-විප්ලවවාදී භූමිකාව තුල ය. ශ්‍රී ලංකාවේ දී මෙන්, ගනේෂ්, එ රටට සංචාරය කල විකොස සහෝදරවරුන්ගේ ද සහාය ඇති ව ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන්ගේ ආරම්භක කන්ඩායමක් එක්‍ රැස් කලේ ය.

1985-86 දී බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමඟ හතර වන ජාත්‍යන්තර කමිටුවේ භේදය, විකොස ඇතුලු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සියලු ම කොටස්වල දේශපාලන වැඩකටයුතු වල මූලික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කලේ ය. පැබ්ලෝවාදයට එරෙහි දේශපාලන අරගලය අත්හැර, ස්ටැලින්වාදය සහ ධනේශ්වර ජාතිකවාදය වෙත කවිප පැහැදිලිව ම දැක්වූ  අවස්ථාවාදී නැඹුරුවෙන් ද  බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි අරගලය අතහැර දැමීමෙන් ද කවිපයේ දේශපාලන පරිහානිය ප්‍රකාශයට පත් ව තිබුනි.

1985 අවසානයේ කීර්ති බාලසූරිය මදුරාසියට ගොස් ගනේෂ් සහ අනෙකුත් සහෝදරවරුන් සමඟ සාකච්ඡා කල විට, ගනේෂ් ජාත්‍යන්තර කමිටුවේ ස්ථාවරයන්ට උද්‍යෝගයෙන් සහාය දැක්වී ය. 1986 සහ 1987 දී, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ වත්මන් සභාපති ඩේවිඩ් නෝර්ත්, බාලසූරිය සමඟ මදුරාසියට ගොස් භේදයට සම්බන්ධ කරුනු පිලිබඳව ගනේෂ් සහ අනෙකුත් සහෝදරවරුන් සමඟ පුලුල් සාකච්ඡා පැවැත්වීය.

“ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන සහ න්‍යායික පදනම්වලට පහර දීම මගින් ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෙරටු බලඇනිය ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජාතික ධනේශ්වරයට සහ එමඟින් අධිරාජ්‍යවාදයට ම යටත් කිරීමට උත්සාහ කල හීලි, බන්ඩා සහ ස්ලෝටර් [යන කවිප නායකයින්] යන භ්‍රෂ්ටයන්ට එරෙහි ව ගෙන ගිය අරගලය” සම්පූර්නයෙන් ම අනුමත කරන බවට ගනේෂ් සහ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන්ගේ කන්ඩායම 1986 දෙසැම්බර් 12 වන දින ප්‍රකාශයක් නිකුත් කලහ. 

තමිල්නාඩුවේ ඉන්දියානු ජාත්‍යන්තර කමිටු ආධාරකරුවන්ගේ කන්ඩායම බොහෝ දේශපාලන අභියෝගවලට මුහුන දුන්නේ ය. වෘත්තීය සමිතිවල ස්ටැලින්වාදී ආධිපත්‍යය පැවතියේ ය. පෝර්ක් සමුද්‍ර සන්ධියෙන් එතෙර දෙමල ජනතාව සිවිල් යුද්ධයේ දී අත්විඳි දුක්ඛිත තත්වය තමන්ට එල්ල කල ප්‍රහාරයක් ලෙස දැකගත් තමිල් නාඩුවේ ජනතාව අතර තම පක්ෂ ශක්තිමත් කර ගැනීමට දෙමල ජාතිකවාදී පක්ෂ ලංකාවේ වාර්ගික යුද්ධය ගසා කෑහ.  

ශ්‍රීලනිප සභාග පාලනය කෙරෙහි මහජනතාව අතර පුලුල් ව පැතිරුනු සතුරුකම ගසා කමින් 1977 දී බලයට පත් වූ දක්ෂිනාංශික යූඇන්පී ආන්ඩුව, ජාමූඅ හි උපදෙස් මත, දැඩි වෙලඳපොල ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල ලෝකයේ පලමු ආන්ඩු අතර විය. රැකියා, වැටුප් සහ අත්‍යවශ්‍ය සේවාවන් මත එල්ල වූ ප්‍රහාරයන්ට එරෙහි ව මහජන විරෝධය පුපුරා යත් ම, යූඇන්පීය දෙමල විරෝධී ස්වෝත්තමවාදය තව තවත් ඇවිස්සුවේ ය. මෙම ප්‍රකෝප කිරීම් 1983 ජුලි මස දිවයින පුරා මිනීමරු දෙමල විරෝධී සංහාරයක් දක්වා ගෙන යමින් එල්ටීටීඊය සමඟ සම්පූර්න යුද්ධයක් අවුලුවාලී ය.

දකුනු තමිල්නාඩුවේ දේශපාලන අස්ථාවරත්වය ගැන කනස්සලු වූ ඉන්දියාවේ ආන්ඩුව ලංකාවට සෘජු ව ම මැදිහත් විය. එම මැදිහත් වීමේ දී ඇතිකර ගත් 1987 ජූලි ඉන්දු-ලංකා ගිවිසුම යටතේ, එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉන්දීය හමුදා යොදවන ලද අතර දෙමල ප්‍රභූවට සීමිත බලය බෙදා දීමක් ද සිදු කෙරිනි. 

කොලඹ විකොස සමඟ සම්බන්ධීකරනයෙන්, ගනේෂ් සහ ඔහුගේ සගයෝ මෙම සංකීර්න තත්වයට තමිල් නාඩුව තුල මැදිහත් වූහ. ඔවුහු පක්ෂ පොත්පත් බෙදා හැර කම්කරුවන් සහ තරුනයින් සමඟ බොහෝ සාකච්ඡා පැවැත් වූ අතර නව දිල්ලි ආන්ඩුවේ දේශපාලන කෛරාටිකකම හෙලි කරමින්, වර්ගවාදී දේශපාලනයේ අන්තරායන් ද පැහැදිලි කර දුන්හ. 

දෙමල ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැක්කේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ එක්සත් අරගලය තුලින් පමනක් බව පැහැදිලි කිරීම සඳහා තියුනු දේශපාලන අරගලයක් දියත් කිරීමට සිදු විය. පක්ෂයේ දෙමල භාෂා ප්‍රකාශනවල මෙම ගැටලු විසඳීම සඳහා ගනේෂ් ලිපි මාලාවක් ලිවී ය.

බාලසූරිය සහ, 1987 දී බාලසූරියගේ අකල් මරනයෙන් පසු විකොස ප්‍රධාන ලේකම් ධූරයට පත් වූ  විජේ ඩයස් ඇතුලු ප්‍රමුඛ ශ්‍රී ලාංකික සහෝදරවරු ඉන්දියාවට ගොස් එහි පක්ෂයේ කටයුතු වර්ධනය කිරීම සඳහා ගනේෂ් සමඟ වැඩ කලහ. ගනේෂ් සැමවිට ම තම සහෝදරයන් උනුසුම් ආගන්තුක සත්කාරයෙන් පිලිගැනීමට සැදී පැහැදී සිටියේ ය.

එස්එල්එල් විසින් සංවිධානය කෙරුනු 1992 මැයි දින පා ගමනේ දී කේ. එස්. ගනේෂදේව් (තොප්පියක් පැලැඳ වමේ)

පසුකාලීන වසරවල දී, ගනේෂ්, සංචාරයේ යෙදුනු විකොස සහෝදරවරුන් සමඟ එක් ව, බටහිර බෙංගාලයේ අගනුවර වන කල්කටාවට (දැන් කොල්කතා) පක්ෂයේ දේශපාලන කටයුතු ව්‍යාප්ත කල අතර ඔහු එහි ද දීර්ඝ කාලයක් ගත කලේ ය. 1940 ගනන්වල කල්කටාව බීඑල්පීඅයි දේශපාලන වැඩ කටයුතු වල ප්‍රධාන මධ්‍යස්ථානයක් ව තිබුනි.

1991 දී, පලමු ගල්ෆ් යුද්ධය මධ්‍යයේ, නොවැම්බර් 16-17 දිනවල අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත් විජිතවාදයට එරෙහි බර්ලින් කම්කරු ලෝක සමුලුව ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය වැඩකටයුතු වල කොටසක් ලෙස, ඩයස් ඇතුලු ශ්‍රී ලාංකික සහෝදරවරුන් විසින් ආමන්ත්‍රනය කරන ලද කල්කටාවේ රැස්වීම් සංවිධානය කිරීමට ගනේෂ් මූලිකත්වය ගත්තේ ය.  ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු එක්සත් ජනපදය සිය ගෝලීය ආධිපත්‍යය නැවත තහවුරු කර ගැනීම සඳහා දශක ගනනාවක යුද්ධයක් ආරම්භ කල බැවින්, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කමිටුවේ බර්ලින් සමුලුව වැදගත් සන්ධිස්ථානයක් විය.

මෙම උද්ඝෝෂනය අතරතුර දුලාල් බෝස්, දුර්බෝ ජෝති මජුම්දාර් සහ ගනේෂ් දත්තා ඇතුලු හිටපු බීඑල්පීඅයි සාමාජිකයෝ, ඔවුන්ගේ සගයෙකු වූ නිර්මාල් සමාජ් පති සමඟ එක් ව, බීඑල්පීඅයි විනාශ කිරීමේ දී පැබ්ලෝවාදයේ භූමිකාව පැහැදිලි කල ගනේෂ් සහ අනෙකුත් සහෝදරවරුන් හමුවූහ. ඔවුන් පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයෙන් බිඳී ජාත්‍යන්තර කමිටුවට බැඳුනේ, එය සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාව නියෝජනය කරන බව පිලිගනිමිනි.

1998 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කරමින් ජාත්‍යන්තර කමිටුව ලබා ගත් වැදගත් ජයග්‍රනය ගැන ගනේෂ් ඉතා උද්‍යෝගිමත් විය. ඉන් පසු වසරවල දී ලෝසවෙඅ සඳහා වැදගත් කරුනු පිලිබඳව ඔහු විසින් ම ලිපි ලිවූ අතර අනෙකුත් ලිපි සම-කර්තෘත්වයන් ද ලීවේ ය.

අනේක දුෂ්කර තත්වයන් යටතේ ඔහු දැක් වූ කැපවීම,  දැඩි ශක්තිය සහ නොපසුබට උත්සාහය ඔහු සමඟ සමීප ව වැඩ කටයුතු කල අයට සිහිපත් වේ. අසනීපයෙන් වඩ වඩාත් අබල වූ ඔහු පසුකාලීන වසරවල දී පවා ක්‍රියාකාරී ව සිටි අතර, ඔහුගේ අත්දැකීම් සහ අධිෂ්ඨානය තරුන සහෝදරවරුන් දැනුවත් කිරීමේ සහ ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම ආරක්ෂා කිරීමේ කාර්යයට ගෙන ආවේ ය.

ගනේෂ්ගේ අවසාන වසරවල සහ අවසන් රෝහල්ගත කිරීමේ දී ඔහුට උදව් උපකාර කල ඉන්දියානු ආධාරකරුවෙකු වන ආකාෂ් දේව් මෙම ලිපියේ ලියුම්කරුට මෙසේ පැහැදිලි කලේ ය: “ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දිනපතා වර්ධනය කරන ලද දේශපාලන විශ්ලේෂනය ගැන ගනේෂ් සිටියේ ඉතා උද්‍යෝගිමත්වයි. [දෘෂ්ටි අබාධ නිසා] වෙබ් අඩවිය කියවීමට නොහැකි වූ නිසා එහි ඇති ලිපි පැහැදිලි කරන ලෙස ඔහු මට නිතර ඇවිටිලි කලා. ට්‍රොට්ස්කිවාදය සහ ජාත්‍යන්තර කමිටුව කෙරෙහි ඔහුට පැවතුනේ අචල විශ්වාසයක්.” 

කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනට ගනේෂදේව් සහෝදරයා සිය ජීවිත කාලය පුරා කල කැපවීම පිලිබඳ මතකය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන් සහ පක්ෂ සහෝදරවරුන් අතර සැමදා ජීවමාන ව පවතිනු ඇත.

Loading