[මෙය For a rank-and-file inquiry into the deaths of USPS workers Nick Acker and Russell Scruggs, Jr.! මැයෙන් 2025 නොවැම්බර් 19දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]
ගෙවී ගිය සති දෙක තුල, එක්සත් ජනපදයේ තැපැල් ස්ථාන දෙකක දී මරුමුවට පත් වුනු, නික් ඇකර් හා කනිෂ්ඨ රසල් ස්ක්‍රග්ස් යන කම්කරුවන් දෙදෙනාගේ මරන ගැන, සාමාන්‍ය කම්කරුවන් නායකත්වය දෙන ස්වාධීන පරීක්ෂනයක් සඳහා, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) කැඳවුම් කරයි. ඉදිරියට පැමින සාක්ෂි දෙන ලෙස අදාල තොරතුරු දන්නා කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එක්සත් ජනපදය පුරාත්, සමස්ත ලෝකයේත්, කම්කරුවන්ගේ දෛනික ජීවිතය බවට පත් ව ඇති කාර්මික ඝාතනාගාරයේ කොටසක් ලෙස, තැපැල් කම්කරුවන් මුහුන දෙමින් සිටින ම්ලේච්ඡ කොන්දේසි හෙලිදරව් කිරීම සඳහා මෙම පරීක්ෂනය අත්‍යවශ්‍ය වේ.
නොවැම්බර් 8 වැනි දා, මිචිගන් ප්‍රාන්තයේ ඇලන් පාක්හි ඩිට්රොයිට් බෙදා හැරීම් මධ්‍යස්ථාන ජාලයේ දී, නික් ඇකර් නඩත්තුව සිදු කරමින් සිටි ලියුම් තෝරන යන්ත්‍රයක් ක්‍රියාත්මක වී ඔහු මරනයට පත් විය. පැය අටකට පසු ඇකර්ගේ මෘත ශරීරය සොයාගැනුනේ, බිරිඳ ඔහු කැටුව යාමට පැමිනීමෙන් අනතුරුවය. මෙහෙයුම් අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා යන්ත්‍රයේ ආරක්ෂක අංගයන් අකර්මන්‍ය කර තිබූ බවට චෝදනා ගොනු කර තිබුනු බව කම්කරුවෝ වාර්තා කරති.
නොවැම්බර් 15 සෙනසුරාදා, ජෝර්ජියාවේ පැල්මෙටෝ පිරිසැකසුම් හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ දී ඇද වැටී ඔලුව වැදීම නිසා, කනිෂ්ඨ රසල් ස්ක්‍රග්ස් මිය ගියේ ය. කම්හල තුල ජංගම දුරකථන සේවාවක් හා හදිසි අවස්ථාවන්හි දී ගතයුතු පියවර නොමැති වීම නිසා, වෛද්‍ය ප්‍රතිකාර සම්පාදනය බොහෝ සෙයින් ප්‍රමාද වීම ඔහුගේ මරනයට හේතු වූ බව කම්කරුවෝ කියති.
එම මධ්‍යස්ථානවල කම්කරුවන්ගේ වාර්තාවන්ට අනුව, අවස්ථා දෙකේ දී ම, කලමනාකාරීත්වය දිගට ම මෙහෙයුම් පවත්වාගෙන ගොස් ඇත.
වලක්වාගත හැකි ව තිබූ මෙම ඛේදවාචකයන් හරහා, එක්සත් ජනපද තැපැල් සේවාවේ (යූඑස්පීඑස්) පවතින ම්ලේච්ඡ කොන්දේසි හෙලිදරව් වී ඇත. ඇලන් පාක් කම්කරුවන් ප්‍රකාශ කරන්නේ, තමන් වැඩ කරන ස්ථානය “මර උගුලක්” බව යි. ජුනි මාසයේ සිදු වූ, 59-හැවිරිදි එරික් ස්මිත්ගේ මරනය හා මෑත දී වැඩපොලෙන් පිටත සිදු වූ සහෝදර කම්කරුවන්ගේ දිවි නසා ගැනීම් දෙකක් ගැන පැල්මෙටෝ කම්කරුවෝ සඳහන් කරති. පසුගිය වසරේ, 48-හැවිරිදි ශැනන් බාන්ස් ද එහි දී මරනයට පත් විය.
මෙම මරන, එක්සත් ජනපදයේ සිදු වන, නිමක් නැති වැඩපොල ආපදාවන් මාලාවකින් කිහිපයක් පමනි. කෙන්ටකීහි ලුවිස්විල්හි දී නොවැම්බර් 4දා සිදු වූ යූපීඑස් භාන්ඩ ගෙන යන යානයක් කඩාවැටීමකින්, පුද්ගලයින් 14 දෙනෙක් මරනයට පත් වූහ. ටෙනිසි ප්‍රාන්තයේ යුද්ධෝපකරන කම්හලක දී මෑත සිදු වූ ව්‍යසනකාරී පිපිරීමක් 16 දෙනෙකු මරා දැමී ය. නොවැම්බර් 14දා ඔක්ලහෝමාහි දී සිදු වූ ඇමෝනියා කාන්දු වීමක්, 34 දෙනෙකු රෝහලයට යැවීමට හේතු විය. අගෝස්තු මාසයේ, පිට්ස්බර්ග් අසල ක්ලෙයාටන් වානේ කම්හලක පිපිරීමක් දෙදෙනෙකු මරා දමා 10කට තුවාල සිදු කලේ ය.
මේ වසරේ දී, තැපැල් කම්කරුවන් අතර අවම වසයෙන්, මරන පහක් සිදු වී ඇත. මෙයට, අධික උෂ්නත්වයට සම්බන්ධ සිදුවීම් නිසා මිය ගිය, කොලරාඩෝහි ග්‍රෑන්ඩ් ජංක්ෂන්හි ඩෑන් වර්ක්මන් සහ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස්හි ජේකොබ් ටේලර් ලිපි ගෙන යන කම්කරුවන් දෙදෙනා ඇතුලත් වෙති.
ගිනිකොන දිග මිචිගන්හි ස්ටෙලැන්ටිස් ඩන්ඩී එන්ජින් කර්මාන්තශාලාවේ වැඩ කල ජ්‍යෙෂ්ඨ රොනල්ඩ් ඇඩම්ස් නමැති මෝටර් කම්කරුවාගේ මරනය සම්බන්ධයෙන්, කක්‍රිකජාස දැනට මත් පරීක්ෂනයක් දියත් කර තිබේ. ඇකර්ගේ මරනයට සමාන අයුරින්, නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටිය දී, ඇඩම්ස් තැලී පොඩි වී මරනයට පත් විය. ආරම්භක සොයා ගැනීම් පිලිබඳ රැස්වීමක් ජූලි 27දා පවත්වනු ලැබී ය. රැස්වීමේ දී වාර්තා වූයේ, යන්ත්‍රය ක්‍රියා විරහිත කොට ඇති අවස්ථාවක එය හදිසියේ ක්‍රියාත්මකවීම වැලැක්වීම සඳහා අතිමූලික ආරක්ෂක පියවරක් ලෙස යොදා තිබූ ඉලෙක්ට්‍රොනික මෙවලම (lockout-tagout) මගහැර ධාරාව ගමන් කල හැකි පරිදි, කලමනාකාරිත්වය විසින් විද්‍යුත් පරිපථය විපථනය (bypass) කර තිබීම, ඔහුගේ මරනයට බොහෝ සෙයින් හේතු වූ බව යි.
ජුනි මාසයේ දී ම, කක්රිකජාසට සම්බන්ධ යූඑස්පීඑස් කම්කරු ක්‍රියාකාරී කමිටුව වර්ක්මන්ගේ සහ ටේලර්ගේ මරන ගැන විමර්ශනයක් කැඳවී ය.
මෙම ප්රශ්නය පිලිබඳ කක්‍රිකජාස වැඩකටයුතු පුලුල් කල යුතු ය. මාධ්‍යවේදී අභ්‍යාසයක් නො වන මෙය, ඉහත ආකාරයේ මරන අනිවාර්ය බවට පත් කරමින්, වැඩපොලවල් තුල පවත්වාගෙන යන සංගත ආඥාදායකත්වයේ පාලනයට එරෙහි ව ප්‍රහාරයකට යාමටත්, තමන් ම ආරක්ෂාවීමට අවශ්‍ය දැනුමින් කම්කරුවන් සන්නද්ධ කිරීමටත් දරන ප්රයත්නයකි.
සංගත මාධ්‍ය, මෙම ඝාතනාගාර පිලිබඳ තොරතුරු වසන් කරයි. කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිවක් කර නොමැති, එමෙන් ම කලමනාකාරීත්වයේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරය ද එය වසන් කරයි. මේ මාසයේ සිදු වූ මරන ගැන ඇමරිකානු තැපැල් කම්කරු සමිතිය නිශ්ශබ්ද ව සිට ඇත. යන්තම් සති කිහිපයකට පෙරාතුව ගොනු කරන ලද නඩුව නිසා, එම සමිතිය ඇකර්ගේ මරනයට පටලැවී සිටින බව කම්කරුවෝ වාර්තා කරති.
මෙම තත්ත්වය කම්කරු පන්තියේ විශ්වීය අත්දැකීම යි. යූපීඑස්හි දී, ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය රැකියා දසදහස් ගනනක් කප්පාදුවට උදව් කරමින් සිටී. මෝටර් රථ කර්මාන්තයේ දී, එක්සත් මෝටර් කම්කරු සමිතිය (යූඒඩබ්ලිව්) ඇඩම්ස්ගේ මරනය කිසිවක් කර නැති අතර, දහස් ගනන් දෙනා දොට්ට දැමෙද්දී ඇඟිල්ලක් වත් ඔසවන්නේ නැත.
කම්කරුවන් විසින් ම ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුත්තේ එබැවිනි. නිලධරය ගැටලුවේ ම කොටසක් වන නිසා, කිසිවක් කරන ලෙස එයට කොපමන පීඩනය යෙදුවත් නිලධරය කිසිවක් නො කරනු ඇත.
තීරනාත්මක ප්‍රශ්නයක් වන්නේ, අනවරතව සිදු කෙරෙන පිරිවැය-කප්පාදු විසින් ඉෂ්ට කරන භූමිකාවයි. ඇමේසන් සංගතය පන්නයේ ලාභ උපදවන කර්මාන්තයක් බවට තැපැල් කාර්යාල හරවා, අවසානයේ එය පුද්ගලීකරනය කිරීමට අවශ්‍ය පදනම සූදානම් කිරීමක් ඉලක්ක කරගෙන, ට්‍රම්ප්ගේ පලමු ධූර කාලයේ අරඹා, බයිඩන් යටතේ අඛන්ඩ ව ඉදිරියට ගෙනගිය “ඇමරිකාව වෙනුවෙන් බෙදාහරින්න” (ඩීඑෆ්ඒ) ප්රතිව්යුහකරන වැඩසටහන මධ්‍යයේ යූඑස්පීඑස් පසු වේ. ප්‍රාදේශීය කාර්යාල 1,000ක් වසා දැමීම, තැපැල් ගමන් මාර්ග දසදහස් ගනනක් ඒකාබද්ධ කිරීම සහ අඩු කම්කරු සංඛ්‍යාවකින් ක්‍රියාත්මක කලහැකි, විශාල, ස්වයංක්‍රීය සේවා ස්ථාන කීපයකට මෙහෙයුම් කේන්ද්‍රගත කිරීම එයට ඇතුලත් වෙයි.
“එක තැන බොහෝ වේලාවක් රැඳී සිටීමේ සිද්ධි” ගැන ස්වයංක්‍රීයව වාර්තා කෙරෙන ආක්රමනශීලී නව අධීක්ෂන පද්ධති, නාගරික තැපැල්කරුවන්ට එරෙහිව යොදා ගනිමින් පවතී. 2023 ඩලාස්හි දී, ඉයුජින් ගේට්ස් නමැති තැපැල්කරුවාගේ මරනයට මෙය හේතු විය. ග්‍රාමීය තැපැල්කරුවන් අතර, දීර්ඝ කාලයක් තිස්සේ කම්කරුවන්ට කෑලි අනුපාත ක්‍රමයකට වැඩ කිරීමට බල කර ඇත. ඔවුන්ගේ ගමන් මාර්ගවල ලියුම් බෙදීමේ “වටිනාකම” යලි තක්සේරු කිරීම හරහා, බොහෝ විට වසරකට ඩොලර් 10,000කින් හා 20,000කින්, හෙවත් තුනෙන් දෙකකින් වැටුප් කපා දැමුවේ ය.
ජාතික ලිපි බෙදන්නන්ගේ සංගමය (එන්ඒඑල්සී) හා ජාතික ග්‍රාමීය ලිපි බෙදන්නන්ගේ සංගමය (එන්ආර්එල්සීඒ) යන වෘත්තීය සමිති දෙක ඩීඑෆ්ඒ වැඩසටහනට සහයෝගය දක්වන අතර, එම වෘත්තීය සමිති දෙක, කම්කරුවන්ගේ විරෝධය නොතකා වැටුප් කප්පාදු කිරීමට හා අධීක්ෂනය කිරීමට පාර්ශවීය ගිවිසුම් අත්සන් කලහ.
වෛද්‍ය පරීක්ෂන ප්‍රතිඵල සහ අනෙකුත් මූලික ලිපි සති ගනන් ප්‍රමාද වීමෙන්, ඩීඑෆ්ඒ ක්‍රියාවට නැංවීම ව්‍යාකූල වී ඇත. එක් පැල්මෙටෝ කම්කරුවෙකුට අනුව, තැපැල් සේවයේ අඩුපාඩු වලට එරෙහි මහජන විරෝධතාවන්ට ප්‍රතිචාර ලෙස මාධ්‍යයන් හෝ කොංග්රස් සාමාජිකයින් පැමිනෙන විට, කලමනාකාරීත්වය විසින් මධ්‍යස්ථානය පිරිසිදු කරන නමුත්, ඉන් පසුව තත්ත්වය “සාමාන්‍ය” තත්වයට පත්වේ.
සෑම රටක ම තැපැල් සේවය ප්‍රහාරයට ලක් ව පවතී. කැනඩා තැපැල් සේවය පවතින්නේ යෝධ කප්පාදු යටතේ ය. රෝයල් මේල් (බ්‍රිතාන්‍ය තැපැල් සේවය -පරි.) සේවය, බිලියනපතියෙකු වන ඩැනියෙල් ක්රෙටින්ස්කි විසින් අත්පත් කරගෙන ඇත. ජර්මානු තැපැල් සේවය වසර ගනනාවකට පෙර පුද්ගලීකරනය කරනු ලැබූ අතර, බ්‍රසීල තැපැල් කම්කරුවෝ පුද්ගලීකරන සැලසුමක කොටසක් ලෙස දොට්ට දැමීම් 10,000කට පමන මුහුන දෙමින් සිටිති.
සෑම කර්මාන්තයක් හරහා ම එක ම කොන්දේසි පිලිබිඹු වේ. එක්සත් ජනපද සමාගම් මේ වසරේ දී රැකියා මිලියන 1.1ක් කපා දමා ඇත්තේ, මහා අවපාතයේ සිට විශාලතම සංඛ්‍යාව වාර්තා කරමිනි. රැකියා කෝටි ගනන් අතුගා දැමීම සඳහා, සංගතයන් ඒඅයි (කෘතිම බුද්ධිය) හා අනෙකුත් තාක්ෂනයන් යොදාගැනීමට කෙල හලමින් සිටී. ජීවන වියදම් අර්බුදයට ආමන්ත්රනය කිරීමට හා වැඩපොල තුල ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට යොදා ගත හැකි මෙම ශ්‍රමය ඉතිරි කිරීමේ අභිවර්ධිත තාක්ෂනයන්, 19වැනි සියවසේ පැවති තත්ත්වයන්ට වැඩ කොන්දේසි ආපසු ගෙන යාමට යොදාගැනීම තුල මූලික පරස්පර-විරෝධයක් පවතී.
මෙම ක්‍රියාවලිය සක්‍රීය කරනු ලබන්නේ ආයතනික කතිපයාධිකාරය සහ ආන්ඩුව සම්පූර්නයෙන්ම ඒකාබද්ධ කිරීමෙනි. නව තැපැල්පති වන ඩේවිඩ් ස්ටෙයිනර් ෆෙඩ්එක්ස් සංගතයේ අධ්යක්ෂ මන්ඩල සාමාජිකයෙකි. නව ඕශා (ජාතික රැකියා නිරාපදතාව හා සෞඛ්‍ය පරිපාලනය) ප්‍රධානියා වන ඩේවිඩ් කීලිං, යූපීඑස් හා ඇමේසන් සංගතවල “අනතුරු වැලැක්වීම” පිලිබඳ ප්‍රධානියා වන අතර, එම සංගත දෙක ම අඩු-වැටුපට මරවා වැඩ ගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට ය. ආරක්ෂක ඒජන්සි වසා දමමින්, කෝටි ගනන් දෙනාට ආහාර සලාක හා මෙඩිකෙයා පහසුම් කපා දමමින් සහ යන්තමින් හෝ කම්කරුවන් අනතුරුවලින් හා දුගී බවින් ආරක්ෂා කරන සියලු දෑ විනාශ කරමින් පාලක පන්තිය කටයුතු කරයි.
තැපැල් සේවාවේ ඉතිහාසයේ පෙන්නුම් කරන්නේ, සාමාන්‍ය කම්කරුවන්ගේ ආරම්භකත්වය මත සටන රඳා පවතින බව යි. 1970 ජාතික තැපැල් කම්කරු වර්ජනය, නික්සන් මුල දී එල්ල කල ප්රහාරයන්ට එරෙහි ව, තැපැල් වෘත්තීය සමිති නිලධරයන් ප්‍රතික්ෂේප කරමින් පැන නැගුනු ක්ෂනික වැඩ වර්ජනයක් විය.
සටනේ සාරය නව ද්වාරයන් සොයාගත යුතු ය. ප්රජාතන්ත්රවාදී පාලනය හා සංවිධානය, වෘත්තීය සමිති යාන්ත්රනයට එරෙහි කැරැල්ලක් සමග ඒකාබද්ධ කෙරෙන, නව සංවිධාන -එනම් ක්‍රියාකාරී කමිටු- ගොඩනැගිය යුතු ය. කලමනාකාරීත්වය දීමට කැමැත්තේ කුමක් ද යන්න නො ව, කම්කරුවන්ට ක්ෂනිකව අවශ්‍ය වන්නේ කුමක් ද යන්න සඳහා සටනට ලොව පුරා කම්කරු පන්තිය එක්සත් කරන මූලෝපායක් මත මෙය පදනම් කලයුතු ය.
කක්‍රිකජාස, නොවැම්බර් 16දා, මහා පරිමාන දොට්ට දැමීම් ගැන රැස්වීමක් පැවැත්වූ අතර, එහි දී කර්මාන්ත කිහිපයක කම්කරුවෝ කතා කල හ. ආරම්භක වාර්තාව ඉදිරිපත් කල ලෝසවෙඅ ලේඛක ටොම් හෝල්, මෙම දොට්ට දැමීම් “කම්කරු පන්තියට එරෙහි යුද්ධයේ“ කොටසක් බව විස්තර කලේ ය. 17දා කක්‍රිකජාස නිකුත් කල ප්‍රකාශයක් මෙසේ විස්තර කලේ ය: “කම්කරු පන්තියේ විසඳුම විය යුත්තේ, සෑම කර්මාන්තයක් හා වැඩපොලක් තුල ම ක්‍රියාකාරී කමිටු ජාලයක් වර්ධනය කොට, කතිපයාධිකාරයේ ස්ථාපිත බලයට එරෙහි ව කම්කරු පන්තියේ බලය ගෙන ඒම යි.”
ආස්ථානයක් ගැනීමට කාලය පැමින ඇත. වැඩපොල ආරක්ෂක කොන්දේසිවල පාලනය සියතට ගැනීමට සහ ජීවිතය, සෞඛ්‍යය හා රැකියා ආරක්ෂාව සඳහා පවතින අයිතිය තහවුරු කිරීමටත්, ලාභය සඳහා නිෂ්පාදනයේ ආඥාදායකත්වය අවසන් කිරීමටත්, ක්‍රියාකාරී කමිටු බලාත්මක කරන තුඩ බවට, නික් ඇකර්, රසල් ස්ක්‍රග්ස් (කනිෂ්ඨ) හා අනෙකුත් තැපැල් කම්කරුවන්ගේ මරන පිලිබඳ ස්වාධීන පරීක්ෂනයක් පත් වනු ඇත.
වැඩිදුර කියවන්න
- මාඋස්සාකැලේ තේ කම්හලේ විජයකුමාර්ගේ මරනය: ලාභය උදෙසා ජීවිත බිලි නොදෙනු!
- මෝටර් රථ කම්කරු ජ්‍යෙෂ්ඨ රොනල්ඩ් ඇඩම්ස්ගේ මරනය සහ ධනේශ්වර ලාභයේ නීතිය
- “කම්කරුවන්ට ජීවත් වෙන්නත්, වැඩපලේ දී ජීවිත ආරක්ෂා කරගන්නත් අරගල දෙකක් කරන්න වෙලා තියෙනවා”
- “පුතාට මොකද වුනේ කියලා මට දැනගන්න ඕනෙ” කිරිපෝරුව කම්හලේ පිපිරුමකින් මියගිය තරුනයාගේ මව ප්‍රශ්න කරයි
